ඉන්දියානුවෝ තරගාවලිය සමකරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 13, 2016

ඉන්දියානුවෝ තරගාවලිය සමකරති

ජයග‍්‍රහණය වෙනුවෙන් ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 127 කට සීමාකරගත් ඉන්දියානුවෝ රංචිහිදී අද (12 වැනිදා) පැවැති දෙවැනි විස්සයි:20 තරගයේදී ලකුණු 69 ක පහසු ජයක් අත්කරගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත වි:20 තරගාවලිය 1-1 ක් ලෙස සමකරගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ.

ඉලක්කය හඹායාම ඇරඹූ ශී‍්‍ර ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනාම අසාර්ථක වීම නිසා  ඕවර 10 ක් නිමා වන විට ශී‍්‍ර ලංකා පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 59 ක් පමණි. තරගය ජයගැනීමට නම් අවසන්  ඕවර 10 දී ලකුණු 138 ක් ලබාගත යුතුවූ නමුත් කඩුලූ 7 ක් අතැතිව තිබියදීත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට අවසන්  ඕවර 10 දී ලබාගත හැකිවූයේ ලකුණු 68 ක් පමණි.

මුහුණ දුන් පළමු පන්දුවෙන්ම තිලකරත්න ඩිල්ෂාන් ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගිය අතර පන්දු 20 ක් ඇතුළතදී ලකුණු 16 කට කඩුලූ 3 ක් බිඳ වැටී තිබිණ. බිඳ වැටුණු කඩුලූ 3 න් දෙකක්ම අශීෂ් නේරා හිමිකරගත්තේ ශී‍්‍ර ලංකා පිතිකරු බලඇණියේ කොඳුනාරටිය බිඳ දමමිනි.

සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට චාමර කපුගෙදර සහ දිනේෂ් චන්දිමාල් සමත් වූ නමුත් අවශ්‍ය වේගය පවත්වාගෙන යාමට ඔවුන්ට නොහැකි විය.

විස්සයි:20 අන්තර්ජාතික තරගයකදී කඩුලූ ති‍්‍රත්වයක් ලබාගත් පළමු ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා වීමට තිසර පෙරේරා සමත් වූවද එයින් සසළ නොවූ ඉන්දිය පිිතිකරුවෝ නියමිත  ඕවර 20 අවසන් වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 196 ක් ලබාගත්හ.

තරගයේ 19 වැනි  ඕවරයේදී තිසර පෙරේරා කඩුලූ ති‍්‍රත්වය ලබාගත් නමුත් ඒ වන විටත් ඉන්දියානුවෝ තමන්ට අවශ්‍ය පදනම දමාගෙන සිටියහ. 19 වැනි  ඕවරය ආරම්භ කරන විටත් කඩුලූ 3 කට ලකුණු 179 ක් ලබා සිටි ඉන්දියානුවෝ  ඕවරයකදී ලකුණු 9.94 ක ලකුණු වේගයක් රඳවාගෙන සිටියහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 75 ක් එක්කළ ශිකාර් ධවාන් (51) සහ රෝහිත් ෂර්මා (43) ඉන්දීය පිලට අපේක්‍ෂා කළ ආරම්භය ලබා දුන්හ. ඔවුන් දෙදෙනාගේ මෙම ප‍්‍රහාරාත්මක පිතිරහඹය නිසා තරගයේ පළමු  ඕවර 10 අවසන් වන විට ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 93 ක් ලබා සිටියේය.

පන්දු 22 කදී සිය අර්ධ ශතකය ලබාගත් ධවාන් ඒ සඳහා හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කළේය. කසුන් රාජිත යැවූ දෙවැනි  ඕවරයේදී ලකුණු 17 ක් උදුරාගත් ඉන්දීය පිතිකරුවෝ මෙම තරගයේදී තමන් අපේක්‍ෂා කරමින් සිටි ලකුණු වේගයට අවතීර්ණ වූයේ  ඕවර 10 නිමාවේදී ලකුණු 9.3 ක වේගයක් රඳවාගනිමිනි.

එතැන් සිට ඉන්දියානුවන්ගේ අභියෝගය වූයේ ලකුණු වේගය පහළට නොවැටී පවත්වාගෙන යාමයි. පිතිකරුවන්ට ඉතාමත් වාසිදායක තණතීරුවකදී පන්දු යවන්නන් අසරණ කළ සුරේෂ් රයිනා (30) සහ හර්දික් පාණ්ඩ්‍ය (27) සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 59 ක් එක්කරමින් තම පිල ලකුණු 180 සීමාවට කැඳවාගෙන ආහ. තිසර පෙරේරා කඩුලූ ති‍්‍රත්වය ලබාගත් නමුත් ඉන්දීය පිලට එයින් බලපෑමක් නොවීය.

විස්සයි:20 අන්තර්ජාතික තරග වලදී කඩුලූ ති‍්‍රත්වයක් දවාගෙන ඇත්තේ පන්දු යවන්නන් සිවු දෙනකු පමණි. තිසර පෙරේරා එහි සිවුවැන්නා වන අතර බ්‍රෙට් ලී ( ඕස්ටේ‍්‍රලියාව), ජේකබ්  ඕරම් (නවසීලන්තය) සහ ටිම් සවුතී (නවසීලන්තය) විස්සයි:20 තරග වලදී කඩුලූ ති‍්‍රත්ව ලබාගත් සෙසු පන්දු යවන්නෝ වෙති. ඔවුන් අතුරින් ජේකබ්  ඕරම් කඩුලූ ති‍්‍රත්වය ලබාගත්තේ 2009 දී ශී‍්‍ර ලංකාවට එරෙහිවය.

කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ඉන්දීය පිල කිසිදු වෙනස්කමක් නොකරම මෙම තරගය සඳහාත් සහභාගි වන අතර තිලකරත්න ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා පිලට එක්වීම නිසා නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.

ලකුණු පුවරුව

ඉන්දියාව

රෝහිත් ශර්මා - ඇ. සහ ප. චමීර     43
ශිකර් ධවාන් - ඇ. චන්දිමාල් ප. චමීර     51
අජින්ක්‍යා රහනේ - ඇ. ඩිල්ෂාන් ප. සේනානායක     25
සුරේෂ් රයිනා - ඇ. චමීර ප. පෙරේරා     30
හර්දික් පාණ්ඩ්‍යා - ඇ. ගුණතිලක ප. පෙරේරා    27
මහේන්ද්‍ර සිං දෝනි - නොදැවී     9
යුවරාජ් සිං - ඇ. සේනානායක ප. පෙරේරා     0
රවින්ද්‍ර ජදේජා - නොදැවී     1
අතිරේක -     10
එකතුව කඩුලූ 6 ක් දැවී ලකුණු     196

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
රවිචන්ද්‍රන් අශ්වින්, ජස්පී‍්‍රත් බුම්රා, අශීෂ් නෙහෙරා

කඩුලූ වැටීම:
1-75(දවාන්), 2-122(ශර්මා), 3-127(රහනේ), 4-186(පාණ්ඩ්‍යා), 5-186(රයිනා), 6-186(යුවරාජ්)

පන්දු යැවීම:
කසුන් රාජිත 4-0-45-0, තිසර පෙරේරා 3-0-33-3, සචිත‍්‍ර සේනානායක 4-0-40-1, දුෂ්මන්ත චමීර 4-0-38-2, සීක්කුගේ ප‍්‍රසන්න 3-0-21-0, මිලින්ද සිරිවර්ධන 1-0-6-0, දසුන් ශානක 1-0-12-0

ශ්‍රී ලංකාව

ධනුෂ්ක ගුණතිලක - ඇ. දෝනි ප. නේරා    2
තිලකරත්න ඩිල්ෂාන් - ස්ටම්ප්. දෝනි ප. අශ්වින්     0
සීක්කුගේ ප‍්‍රසන්න - ඇ. යුවරාජ් ප. නේරා    1
දිනේෂ් චන්දිමාල් - ස්ටම්ප්. දෝනි ප. ජදේජා     31
චාමර කපුගෙදර - ඇ. පාණ්ඩ්‍යා ප. ජදේජා     32
මිලින්ද සිරිවර්ධන - නොදැවී    28
දසුන් ශානක - ඇ. රයිනා ප. අශ්වින්    27
තිසර පෙරේරා - ඇ. රහනේ ප. අශ්වින්     0
සචිත‍්‍ර සේනානායක - ක.මු. කළා ප. බුම්රා     0
දුෂ්මන්ත චමීර - ප. බුම්රා     0
කසුන් රාජිත - නොදැවී     3
අතිරේක -     3
එකතුව කඩුලූ 9 ක් දැවී ලකුණු     127

කඩුලූ වැටීම:
1-2(ඩිල්ෂාන්), 2-3(ප‍්‍රසන්න), 3-16(ගුණතිලක), 4-68(කපුගෙදර), 5-68(චන්දිමාල්), 6-116(ශානක), 7-117(පෙරේරා), 8-119(සේනානායක), 9-119(දුෂ්මන්ත)

පන්දු යැවීම:
රවිචන්ද්‍රන් අශ්වින්: 4-0-14-3, අශීෂ් නෙහෙරා: 3-0-26-2, යුවරාජ් සිං: 3-0-19-0, රවින්ද්‍ර දජේජා 4-0-24-2, සුරේෂ් රයිනා 2-0-22-0, ජස්පී‍්‍රත් බුම්රා 3-0-17-2, හර්දීක් පාණ්ඩ්‍යා 1-0-5-0

No comments:

Post a Comment

Post Bottom Ad