යුධ අපරාධ පරීක්‍ෂණ පැවැත්වීම වරදක් නෑ – ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

යුධ අපරාධ පරීක්‍ෂණ පැවැත්වීම වරදක් නෑ – ෆොන්සේකා

යුද අපරාධ සිදු කර ඇති බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට වර්තමාන රජය ගෙන ඇති තීරණය තමා ද අනුමත කරන බව හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ නඩු විභාගයක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධවල නිරත නොවූ බව තම විශ්වාසය බව කියා සිටි ජනරාල් සරත් ෆොන්සේකා, එහෙත් චෝදනාවක් එල්ල වී තිබේනම් ඒ පිළිබඳව සොයා බැලීම වැදගත් වන බව පවසයි.

‘වගකිව යුතු මට්ටමින් චෝදනා ඉදිරිපත් වී තිබේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතුයි. චෝදනා පරීක්ෂා නොකොට ඉවත දැමීම සුදුසු නැහැ. යම් අපරාධයක් සිදු වී ඇති බවට චෝදනා තිබේනම්, ඒවා සිදු වූ ස්ථාන සහ කාල වේලාවන් ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා නම් ඒ පිළිබඳව සොයා බැලීම සදහා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යයි’ ජනරාල් ෆොන්සේකා පවසයි.


‘ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධවල නිරත වී නැත’ යන්න තම පිළිගැනීම වන බව පවසන ජනරාල් සරත් ෆොන්සේකා , එහෙත් ලක්ෂ දෙකකට අධික යුද හමුදා බල ඇණියේ සුළු පිරිසක් හෝ යම් වැරදි ක්‍රියාවක් සිදු කර තිබේනම් ඒ පිළිබඳව සොයා බැලීමේ වරදක් නොමැති බව පෙන්වා දෙයි.

යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් වත්මන් රජය අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර බලවේග සතුටු කිරීමට යැයි විපක්ෂයේ ඇතැම් පක්ෂ ප්‍රකාශ කර ඇතත් තමන් එම අදහස පිළි නොගන්නා බව හිටපු යුද හමුදාපතිවරයා පවසයි.

‘මම ඒ අදහස පිළිගන්නේ නැහැ. අතීතයේ දීත් යුද හමුදාවට චෝදනා එල්ල වූ අවස්ථාවල පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දී තිබෙනවා. 1971 මනම්පේරි ඝාතනය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සහ ඇඹිලිපිටිය සිසු ඝාතන ඊට උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්’ ජනරාල් සරත් ෆොන්සේකා කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හිටපු යුද හමුදාපතිවරයා හැටියට ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සුදානම් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad