ඉන්දීය වාහනවල සුසාන භූමිය ශ‍්‍රී ලංකාවද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 31, 2014

ඉන්දීය වාහනවල සුසාන භූමිය ශ‍්‍රී ලංකාවද?

අපේ මේ පුංචි රටට මංමාවත්වලට ඔරොත්තු නොදෙන තරමට ඉන්දීය වාහන වලින් මුළු රටම පිරී ඇත. පෙරවරු 8.00  දහවල් 12.00   සවස 4.00   වැනි කාලවලදී කොළඹ  නගරයේ මංමාවත්වල දැඩි වාහන තදබදයක් පවතී.  

පාරදිගේ වාහන ඇදීයන්නේ මළ මිනී ගෙන යන ගානටය.  මේ හේතුවෙන් මොන තරම් ඉන්ධන ප‍්‍රමාණයක් නිකරුණේ මහමග දියවී යන්නේද?  කළමණාකරණයක් සැලසුම්කරණයක් ක‍්‍රම සම්පාදනයක් අවශ්‍ය වන්නේ මෙවැනි තැන්වලටය.  නමුත් ඒ කිසිවක්ම  නැත.

කෑමබීම අසීමිතව ගත්විට ඉස්මුරුත්තාවට එන්නා සේ දැන් අපේ රටද වාහනවලින් ඉස්මුරුත්තාවට පැමිණ ඇත.  මිනී පෙට්ටියට මළ මිනියක් දැමීමට අවසර ගත යුතුය.  නමුත් අපේ රටට ඉන්දිය වාහන ගෙනැවිත් පිරවීමට කිසිදු අවසරයක් අවශ්‍ය නැත. 

ආනයනික වෙළෙන්දෝ අසීමිත ලෙස වාහන ගෙන්වති.  මුදල් සමාගම් ඉතාමත් අඩු මුදලක් ගෙන වාහන ෆිනෑන්ස් කරමින් ජනතාවට වාහන අලෙවි කරයි.  මේ කිසි තැනක කිසිම පාලනයක් නැති නිසා අනතුරුව මාර්ග අවහිර වන අන්දමට වාහන මහමග දිගේ පිරී පවතී.

රට පාලනය කරන මැති ඇමතිවරුන් සහ කළමණාකරුවන් අති බහුතරයක් සිටින්නේ කොළඹය. මගදිගට වාහන අවහිරය පවතින්නේත් කොළඹය.  කළු වීදුරු වලින් වාහන වසාගෙන ඇති නිසා බොහෝ මැති ඇමතිවරුන්ට සහ කළමණාකරුවන්ට පාරේ ඇබැද්දිය ඇස ගැටෙන්නේ නැත. ඔවුහු නැලවී නැලවී වාහනවලට වී සිටිති.  වාහන ඉන්ධන බොමින් පාර අවහිර කරගෙන කල් මරති.

රට පුරා වෙසෙන ක්ෂේත‍්‍ර නිලධාරීනු දැන් තීරු බදු රහිතව යතුරු පැදි ලබදෙයි.  අනුරාධපුර දිසාවට පමණක් යතුරු පැදි ලක්ෂයකට වඩා පසුගියදා බෙදී ගියේය.  රට පුරා සිටින ක්ෂේත‍්‍ර නිලධාරීන්ට තීරු බදු රහිත යතුරුපැදි  බෙදුවිට යතුරුපැදි තිස් ලක්ෂයකට වැඩියෙන් මහමගට වැටෙති.  ඒ අතර බට්ටා ලොරි සහ ත‍්‍රීරෝද රථද අසීමිත ලෙස පාරට කඩා වැටෙයි.  මේවාට කිසිදු පාලනයක් ඇති බවක් පෙනෙන්නට නැත.

මහමග අවහිර කරමින් ඉන්ධන බිබී සිටින මේ වාහන වසර හතක් අටක් දහයක් ගෙවී යන විට දිරාපත් වෙමි යකඩ මැසින් බවට පත් වේ.  මෙසේ අසීමිතව ගෙන්වන වාහනවලට අමතරව පිටරටදී කැඞී බිදී ගිය වාහන වල කැබලිද මෙරටට ගෙන්වා ගොඞ් ගසා ඇත.  මේ සියල්ල කල් යාමේදී දිරාපත්  වූ විට ගාල් කරන්නේ කොතැනටද?

මේ වාහන තදබදය ජාතික මට්ටමින් සැලසුම් සෙවිය යුතු ජාතික ප‍්‍රශ්නයකි.  තීන්ත ගල්වා අලූත් පෙනුමට ගෙන් එන වාහන දිරාපත් ගිය විට ගාල් කරන්නට කොළඹ නැත.  මිනී කනත්තේවත් දැන් මිනිසුන්ට ඉඩ නැති තරම්ය.  දිරාපත්වෙන වාහන් මුහුදට දැමිය නොහැක.  කොළඹ  ගොඩබිමේ රදවා තබන්නටද ඉඩක් නැත.  එසේ නම් දිරාපත්වන යකඩ මැසිවලට කළ හැක්කේ කුමක්ද?

කොළඹ  නගරයේ ශේෂවන බොහෝ කුණු ගොඩවල් ඊළගට ගාල් වන්නේ පිටිසර ප‍්‍රදේශවලටය.  දැනටමත් පිටිසර ප‍්‍රදේශවලටය.  දැනටමත් පිටිසර පැතිවල මාර්ග දෙපස තැන් තැන්වල වාහන දිරාපත් වන්නට දමා ඇත.  දැන් රටේ පවතින අසීමිත වාහන සංඛ්‍යාව අනුව තව දශකයක් දෙකක් යනවිට යකඩ ගොඩවල් දමන්නට තැනක් නැතිව යනු ඇත.  

මෙය හරියට ඉන්දියාව අනියම් ලෙස අපේ බිම උරුම කරගත්තාක්  මෙනි. ඉන්දීය වාහන කොළඹට  ගලාවිත් කොළඹ  පිරෙන විට ඒවා ඊළගට පිටිසර දෙසට තල්ලූ වී යයි.

මාර්ග අවහිර වීමට හා මාර්ගවල අනතුරු සිදුවීමට අසීමිත වාහන තදබදය හේතුවී තිබේ.  ඉක්මනින් කොළඹට සේන්දු විය හැකි සේ මහා මාර්ග  කාපට් කරනු ලැබූවත් පාරේ පවත්නා වාහන තදබදය නිසා කොළඹට ඉක්මනින් ඒමට ලැබෙන්නේද නැත.

– ADA

No comments:

Post a Comment

Post Bottom Ad