කොළඹ නැති කාපට් හා කොන්ක්‍රීට් පාරවල් මොනරාගල තිබෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

කොළඹ නැති කාපට් හා කොන්ක්‍රීට් පාරවල් මොනරාගල තිබෙනවා

http://ift.tt/eA8V8J

කොළඹ දිස්ත්‍රික්කයේ දක්නට නොලබෙන කාපට් හා කොන්ක්‍රීට් පාරවල් මොනරාගල දිස්ත්‍රික්යේ දක්නට ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.

අද වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ අතුරු පාරවල් පවා කොන්ක්‍රීට් කර ඇති බවත් ඉතිරි වී ඇති සියලුම පාරවල්ද කඩිනමින් සංවර්ධනය කරන බවත් හෙතෙම කීවේය.

බුත්තල යුදගනාව කොට්ඨාශයේ සියලු ග්‍රාමීය මාර්ග සහ අතුරු මාර්ග සංවර්ධනය කිරීමේ වැඩ සටහන  ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

කතරගම,බුත්තල, වැල්ලවාය,තණමල්විල හා වෙනගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ සියලුම අතුරු මාර්ග මෙම වැඩ සටහන යටතේ සංවර්ධනය කරන බව පැවැසු ඒ මහතා ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව කියා සිටියේය.

පසුගිය මැතිවරණවලදි මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලබාදුන් විශිෂ්ඨ ජයග්‍රහණයන් නිසා වෙනත් දිස්ත්‍රික්කවල යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට ලබාදුන් මුදලට වඩා වැඩි මුදලක් වැල්ලවාය ආසනයේ සංවර්ධනයට ජනාධිපතිතුමන් ලබාදුන් බව පුෂ්පකුමාර මහතා පැවැසීය.

ඌව පළාත් සභා මැතිවරණයේදිද පසුගිය මැතිවරණවලදි ලබාදුන් ජයග්‍රහණයන් අභිබවා යන ජයග්‍රහණ ලබාදී තව තවත් සංවර්ධන ව්‍යාපෘති ලබාගැනිමට උත්සුක වන්නැයි මොනරාගල ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය.

ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

අපි වෙනද ගම්වලට වලට යද්දි ඉල්ලුවේ බොරළු ටිකක් දාලා පාර හදලා දෙන්න කියලා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. එක්කෝ කාපට් ඉල්ලනවා. නැත්නම් කොන්ක්‍රීට් දාල දෙන්න කියනවා. අද ජනතාවට සංවර්ධනය ඇඟට දැනෙන්න පටන්ගෙන තිබෙනවා. ඒ නිසා ඒ අය හිතන්නේ ගොඩක් ඉහළින්. අපිට ලැබිලා තියෙන හැම සතයක්ම ජනතාවගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් තමයි වියදම් කරන්නේ.

කොළඹ ඉදලා වැල්ලවායට එන අය පුදුමයෙන් කතා කරනවා කොහොමද මේ තරම් දියුණු වුණේ කියලා. මේ දෙවල් ඉබේ වුණේ නැහැ. අපේ ජනතාව මැතිවරණවලදි වත්මන් රජය වගේම ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න කටයුතු කලා. ජනාධිපතිතුමා ඒ දේවල් අමතක කරලා නැහැ. එතමා සෑම අවස්ථාවකම අපේ ප්‍රදේශවලට වැඩි මුදලක් ලබාදෙන්න කටයුතු කර තිබෙනවා

ඌවේ සංවර්ධනය දකින්න නම් ඌවට එන්න ඕන. එහෙම නැතුව කොළඹට වෙලා දුප්පත් දුප්පත් කියලා පලක් නැහැ. ඇස් පේන කිසිම කෙනෙක් ඌව සංවර්ධනය වෙලා නැහැ කියලා කියන්නේ නැහැ. දේශපාලන කුහකත්වයෙන් බලන අයටයි එහෙම පේන්නේ. අද විපක්ෂයෙන් වෙන්න ඕනි රජයේ අඩුපාඩුවක් තියෙනව නම් පෙන්වල දෙන එක. එහෙම නැතුවට තැන් තැන්වල බොරු බේගල් කිය කිය යන එක නෙවෙයි.

- වජිර කොඩිතුවක්කු



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad