විදුලිය, ඉන්ධන මිල අඩු කර සමස්ත ජනතාවගේ ආදායම වැඩිකිරීමට ජනාධිපතිතුමන් කටයුතු කළා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 21, 2014

විදුලිය, ඉන්ධන මිල අඩු කර සමස්ත ජනතාවගේ ආදායම වැඩිකිරීමට ජනාධිපතිතුමන් කටයුතු කළා

http://ift.tt/1tLzxFK

විදුලි බිල 25% කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් පහකින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින්ද පහත දමමින් ජනාධිපතිතුමන් රාජ්‍ය සේවකයින්ගේ පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ආදායම් මාර්ග වැඩිකිරිමට කටයුතු කළ බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති “කොළඹ ළමයි 2014“ ළමා සිතුවම් නිර්මාණ තරගාවලයේ සමාරම්භක උත්සවට සහභාගී වෙමිණි. 2014 ඔක්තෝම්බර් 1 දිනට යෙදෙන ලෝක ළමා දිනය හා ඔක්තෝම්බර් 6 දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමීව නාගරික ජනතාවගේ “ හැඩ වැඩ හඬ “ තේමාව යටතේ කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී ඊයේ (20) දින මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ අතිගරු ජනාධිපතිතුමන් කොළඹ ජනතාවට විතරක් නොවේ මුළු රටේම ජනතාවට පසුගිය දවස්වල විශාල වැටුප් වැඩිකිරීමක් කළා. වෙනදා ජනාධිපතිතුමා වැටුප් වැඩිකරන්නේ රාජ්‍ය සේවකයින්ට. නමුත් මේ වතාවේදී මුළු මහත් ජනතාවගේම වැටුප් වැඩි කළා. විදුලිබිල 25%කින් අඩුකිරීම කියන්නේ තමන්ගේ වියදම් සඳහා යන මුදලක් වැටුපට අලුතින් එකතු කලා කියන එක. ඒ වගේම ඉන්ධන  මිල අඩුකලා කියන්නේ තමන්ගේ වැටුපෙන් වෙනදා වියදම් කල මුදල අලුතින් ඉතුරු කරලා දුන්නා කියන එක. යම්කිසි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පහත බහිනවා කියන්නේ සියලුම ප්‍රජාවට අලුතින් වැටුප් වැඩිකිරීමක් හා සමානයි.  ඔබතුමා  මුල සිටම කිව්වා මේ වසර අවසාන වන විට විදුලි බිල පහත හෙළලා  රටේ ජනතාවට සහන ලබාදෙන්න අවශ්‍ය කටයුතු කරනවා කියලා. ඒ පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකලා.

ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගත්තු මේ රට ලෝකයෙන් කොන්වුණු රටක් හැටියට හංවඩු ගහන්න අද සමහරු හදනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ  කිරිඇල්ල මහත්තයාලා, මංගල සමරවිර මහත්තයලා මුස්පේනතු කතා කිය කියා ලංකාව ලෝකයෙන් හුදෙකලා කරපු රටක් හැටියට හංවඩු ගහන්න හදනවා. නමුත් තමුන්නාන්සේලා දැක්කා ජපන් අග්‍රාමාත්‍යතුමා, චීන ජනාධිපතිතුමා, ආසියානු සංචාරය ආරම්භ කළේ ලංකාවෙන්. මේ රටට විශාල ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහයෝගය ඒ හරහා ලැබිලා තියෙනවා. ඒ අලුත් ජාත්‍යන්තරයේ නව ලෝක බලවතුන් .

පැරණි ලෝක බලවතුන් පස්සේ යන්නේ අතීතයේ ඉන්න අය. පැරණි ලෝක බලවතුන්ගේ දෙපා සිඹින්නේ අතීතයේ ජීවත්වන අයයි. ඒවගේම පැරණි ලෝක බලවතුන්ගේ සපත්තු ලෙවකන්නේද  අතීතයේ ජිවත්වන අයයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ මේ රජය ජීවත් වන්නේ අතීතයේ නොවේ අනාගතය දිහා බලාගෙන වර්තමානයේයි. මේ පොළවට පය තිබ්බේ අනාගත ලෝක බලවතුන්. පැරණි ලෝක බලවතුන්ගේ යුගය නිමා කරලා අනාගත ලෝකයේ බලවත් යුගය අරඹන නව ලෝක බලවතුන් තමයි අද මේ රජය සමග අත්වැල් බැඳගෙන සිටින්නේ. මේ රාජ්‍ය පාලනයත් සමග අත්වැල් බැඳගෙන රට ඉදිරිපිට තිබෙන සෑම අභියෝගයක්ම ජය ගන්න ජාත්‍යන්තර තලයේත්, ආර්ථික තලයේත් විශාල දායකත්වයක් මේ බලවතුන්ගෙන් ලැබෙනවා.

කොළඹ තිබෙන නාගරික බලප්‍රදේශ වල දුවා දරුවන්ගේ දක්ෂතාවන් හා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ අනාගත අභියෝග ජයගන්න පුළුවන් පරපුරක් බවට ඔවුන් පත්කිරිමේ අරමුණින් මේ දියත් කරන වැඩසටහනේ අද ඓතිහාසික දවසක්. මීට පෙර අවුරුදු වලදී අතිගරු ජනාධිපතිතුමන්ට පුළුවන්කම තිබුණේ නැහැ මේ දරුවන්ගේ හැකියාවන් නරඹන්න, දරුවන්ගේ හැකියාවන් දිරිගන්වන්න පෞද්ගලිකව සහභාගි  වෙන්න. මෙම වැඩසටහන්ට ගරු මුදල් අමාත්‍යතුමා හැටියට  මුදල් ප්‍රදානය කරලා, කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජිවත්වෙන පවුල් 60000ක් පමණ වන අඩු පහසුකම් ජනාවාසවල දරුවන්ට යහපත් අනාගතයක් නිර්මාණය කරන්න, මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ශක්තිය අද එතුමා අපට ලබාදි තිබෙනවා . නොයෙක් විවිධ අපචාරයන්ගේ ගොදුරු බවට පත්වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන මේ කොළඹ අග නගරවල දරුවන් ඒ සියල්ලෙන් මුදාගෙන ඔවුන්ට හොඳ අනාගතයක් හදන්න අවශ්‍ය ශක්තිය අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලිකවම මෙම නිර්මාණ තරගාවලියට සහභාගී වීම මගින් ලබා දී තියෙනවා. කොළඹ ළමයි කියලා කියන්නේ අඩු පහසුකම් ජනාවාසවල ළමයි. මේ සිටින්නේ නොසලකා හැරදමා තිබුණු ළමයින්. අනෙකුත් සමාජයන් මේ අය දිහා බැලුවේ වපර ඇසින්. අද අපි ඒ ළමයි සියල්ලම එක තැනකට එකතු කරලා  එක පැත්තකින්  නාට්‍යකරණ තරග පවත්වනවා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගුරුවරු ඔවුන්ට නාට්‍යකරණය උගන්වනවා. අනෙක් පැත්තෙන් මූර්තිකරණයේ තරග පැවැත්වෙනවා. චිත්‍රකරණය පිළිබඳ පුහුණුව ලබාදෙනවා. ළමයි 25000කගෙන් තෝරාගත් 5000ක් අද මෙතන චිත්‍ර නිර්මාණය කරනවා. එම 5000න් අපි තරඟාවලියේ ජයග්‍රාහකයෝ තෝරාගන්නවා. අවසාන හොඳ නිර්මාණ 100ක් පමණ අපි ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම දරුවන්ගේ හැකියාවන් බලන්න ගායනා තරඟ පවත්වනවා. ඒ ගායනා තරඟ වලින් ජයග්‍රහණය කළ දරුවෝ වෙනුවෙන් මේ වසරේ අවසානයට පෙර නෙළුම්පොකුණ රඟහලේ ප්‍රසංගයක් පවත්වලා එම දරුවන්ගේ ගීත අඩංගු සංයුක්ත තැටියක් නිතුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තෝරාගත් නාට්‍ය නෙළුම් පොකුණේ එළිමහන් රංගපීඨයේදී පෙන්වනවා. මේ දරුවන් සමාජයේ අනෙකුත් ජනාවාස වල දරුවන් වගේම විවිධ හැකියාවලින්, දක්ෂතා වලින්, පොහොසත් දරු පරපුරක් බවට පෙරළන්න මේ වැඩසටහන මගින් විශාල කාර්යභාරයක් සිදුවන බව අපිට පෙනෙනවා.  අතිගරු ජනාධිපතිතුමා කොළඹ නගරයේ අඩුපහසුකම් ජනාවාස වල ජිවත්වන පවුල් 60000කට අද කොළඹ නගරයේ විවිධ ස්ථානවල නව මහල් නිවාස ගොඩනගනවා. එ මහල් නිවාස යෝජනාක්‍රමවලට යන්න ඉන්න දරුවෝ තමයි තමන්ගේ අනාගත සිහිනය ගැන අද චිත්‍ර අඳින්නේ. ජරාවාසවල ජිවත්වුණු මේ දරුවෝ අනාගත ජනාවාසයේ සිහිනය තමයි මේ සිත්තම් කර නිර්මාණයක් හැටියට ගෙනඑන්නේ. ඒ සිහිනය පළදරන සිහිනයක් බවට පත්කරන්න අතිගරු ජනාධිපතිතුමන්ට හැකියාව තිබෙන බව අපි ඉතා ඕනෑකමින් අවධාරනය කරන්න කැමතියි.

ඒ තමයි අද ගොඩනැගෙන දැවැන්ත මහල් නිවාස පද්ධතිය. ඔබේ දරුවන්ට ඔබ විදි දුක ලබන්න ඉඩ නොදෙන නව ජනාවාස පද්ධතිය. මෙම සිතුවම් දැක්මට අමතරව මෙම දරුවන් අතර ක්‍රීඩා තරඟ ඒ වගේම ක්‍රීඩා සංගම් 450ක් එකතුකරලා කාන්තා හා පිරිමි ක්‍රිකට් තරඟ, ඒ වගේම කාන්තා සවිය වැඩසටහන්, ස්වයං රැකියා වර්ධනය කිරීමට අවශ්‍යකරණ උපකරණ ලබාදීමට කටයුතු කරලා තියෙනවා. මේ විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේදි තව නොබෝ දිනකින් වීදි ආහාර නිෂ්පාදන අලෙවිසැලක් පවත්වනවා. එදාට ඒ ස්ථානයට ඇවිල්ලා ආහාර නිෂ්පාදනය කරලා විකුණන්නේ මේ ජනාවාස වල දරැවන්ගේ දෙමව්පියන්.ඔවුන්ට තමයි අද අතිගරු ජනාධිපතිතුමා අතින් අවශ්‍යකරණ උපකරණ කට්ටල ප්‍රදානය කළේ. රටේ සිටින බහුවිධ ජනකණ්ඩායම් සියල්ලම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

කොළඹ දේශපාලනය පිළිබඳවද විමල් වීරවංශ අමාත්‍යවරයා අදහස් දැක්වීය. “ කොළඹට වැඩ කරන්නේ යූ.එන්.පී. ආණ්ඩු කියලා සාමන්‍යයෙන් මතයක් තිබුණා. නමුත් දැන් නම් ඒ මතය නැහැ. හැමදාම කෙළඹ ගැන එහෙම හීනයක් තියාගෙන හිටියට එය යථාර්තයක් වෙලා නැහැ. නමුත් අද කොළඹ දරුවන් නැගිට්ටවන්නේ, කොළඹ දෙමව්පියන් නැගිට්ටවන්නේ, කොළඹට නව ජන ජීවිතයක් ලබාදෙන්නේ, අලුත් අභිමානවත් නගරයක් වගේම අභිමානවත් නගරයේ නිවසක හිමිකම කොළඹ නගරයේ ජනතාවට ලබාදෙන්නේ අන් කවුරුවත් නොව අතිගරු ජනාධිපතිතුමාගේ  නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බව අද සනාථවෙලා ඉවරයි. ඒ පරණ කතා අද යල්පැන ගිහිල්ලා ඉවරයි. ඒවා කල් ඉකුත්වෙලා. අබලන් වුණු මහල් නිවාස  නවීකරණය වුණේ කවදා ද? කොළඹ අහස උසට නැගෙන මහල් නිවාස පද්ධති නිර්මාණය වුණේ කවදාද? ඒ සුද්දන්ටද නැහැ, මේ පොදු ජනතාවට. දරුවන්ගේ අනාගත ලෝකයට. කොළඹ නගරය මේ තරම් දැකුම්කළු පිරිසිදු අලංකාර නගරයක් බවට පත්වුණේ මිට පෙර  කවදාද? හැමතැනම තාප්පවල පෝස්ටර් අලවන්නේ නැති විනයක් සහිත නගරයක් බවට කොළඹ නගරය පරිවර්ථනය වූයේ මින් පෙර කවදාද?

කොළඹ ජන ජීවිතය වෙනස් වෙනවා, කොළඹ ජන ජිවිතයේ හැඩරුව වෙනස් වෙනවා, නව උද්‍යාන වලින් පිරුණු කොළඹ නගරයත් නිර්මාණය වෙනවා වගේම ඊට සමගාමිව අවට නගර කරාත් එය ව්‍යාප්ත වනවා. ඒ නිසා අසුභවාදීව බලපු යුගය අවසන්. අදුරු වලාකුළු තමන්ගේ හිසට උඩින් ගලා ගිය යුගය අවසන්. දැන් තමුන්නාන්සේලාගේ යහපත් අනාගතය නිර්මාණය වන යුගය. නව කොළඹ උදාවන යුගය. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය කොළඹ අඩු පහසුකම් ජනාවාසවල ජනයා සමග උරෙන් උර ගැටිලා වැඩ කරනවා. මේ ජනාවාස වලින් නන්දා මාලනී වැනි අභිමානත් කඩහඬ සහිත ගායිකාවන් නිර්මාණය වුණා නම්, එච්. ඒ. පෙරේරා නැමති කිර්තිමත් රංගධරන් නිර්මාණය වුණා නම්. එවැනි වටිනා සම්පත් සිය දහස් ගණනක් මේ ජනාවාස වලින් නිර්මාණය කිරිම අපේ ඉලක්කය. ඒ සඳහා ඔබේ සහයෝගය අපට ලබාදෙන්න. අතිගරු ජනාධිපතිතුමන් ජාතියේ නායකයා හැටියට දරුවන්ගේ හැකියාවන් ඔප්නංවන්න මේ ලබාදුන් දායකත්වය ඉතා ඉහලින් මේ දරුවන්ගේ හදවත්හි තැන්පත් වෙනවා.” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කොළඹ නගරයේ අඩුපහසුකම් ජනාවාසවල ජිවත්වන දරු දැරියන් 25000 කගෙන් තෝරාගත් දරුදැරියන් 5000ක පිරිසක් සිතුවම් නිර්මාණය කළ ආකාරය අතිගරු ජනාධිපතිතුමන් හා විමල් වීරවංශ අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන වීදි ආහාර ප්‍රවර්ධන වැඩසටහන යටතේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 135ක් සඳහා  රුපියල් ලක්ෂ 14කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් මෙහිදී සිදු කෙරිණ.

ජනසෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන මහින් කුඩා පරිමාණ ආහාර නිෂ්පාදනයන්හි නිරත නාගරික ජනාවාසවල ආහාර නිෂ්පාදකයින්  හදුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය දැනුම, පුහුණුව හා මගපෙන්වීම ලබාදෙමින් පළමු අදියර යටතේ විදි අහාර නිෂ්පාදන හා අළෙවියේ යෙදන පවුල් 135ක් සඳහා ඔවුන් දිරිමත් කිරිමේ අරමුණින් ස්වයං රැකියා උපකරණ මෙහිදී ප්‍රදානය කෙරිණ.

ලෝක ජනාවාස දිනය හා ලෝක ළමා දිනය තේමා කරගනිමින් කොළඹ අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන දරුවන්ගේ කලා හැකියාවන් එළිදැක්වීම සඳහා 2011 වසරේ සිට මෙම වැඩසටහන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය.

ඒ හා සමගාමීව “ කොළඹ ළමයි ” ළමා නාට්‍ය තරඟාවලියේ නාට්‍ය 75 ක් අතරින් 2 වන වටයට තෝරාගත් නාට්‍ය 27 ක් මේ මස (සැප්තුම්බර් ) 27, 28 යන දෙදින පුරා කොළඹ ග්‍රීන්පාත් නවනගර ශාලාවේදී වේදිකාගත කිරීමද සිදු වේ.

තවද ජනසෙවණ සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ (කාන්තා / පිරිමි)  අවසන් වටයේ තරඟ ද ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස ( සැප්තැම්බර්) 28 වෙනිදා රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹ නගරයේ ජීවත්වන නාගරික අඩු පහසුකම් ප්‍රජාවගේ සමාජීය ආර්ථික හා සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා “ මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ජනසෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන සමඟ මේ වන විට කොළඹ අඩු පහසුකම් ජනාවාසවල පවුල් හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධවී සිටිති.

– Con. Media

NMD_9441

NMD_9539 NMD_9596 NMD_9640



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad