අලුත් අවුරුදු නැකතේ ගන්දරට දුක් ගින්දරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 18, 2014

අලුත් අවුරුදු නැකතේ ගන්දරට දුක් ගින්දරක්

13 හැවිරිදි දරුවා මුහුදට බිලි වෙයි

ලොකු මාමගේ නිවසට අවුරුදු ගමනක් ගොස් නව වසරේ සතුට භුක්ති වින්ද පවුලේ එකම පිරිමි දරුවා නිවස පහළ මුහුදේ බිලී බෑමට ගොස් මුහුදට බිලිවීමේ ශෝකජනක සිද්ධියකින් ගන්දර ගම්මානයම කම්පාවට පත්වී ඇත.


මෙසේ අවාසනාවන්ත ලෙස මුහුදට බිලි වූයේ දෙවිනුවර දෙව්ගම්පුර අංක 1/65 නිවසේ පදිංචි වී සිටි ගන්දර මහ විද්‍යාලයේ 8 වසර ඉගෙනුම ලබන බී. පී. චමෝද් මදුෂංක නමැති 13 හැවිරිදි සිසුවාය. ඔහු පවුලේ එකම දරුවාය.

මීට වසර 10කට පෙර මියගි‍ය බී. පී. දිලිප් දළුවත්ත මහතා‍ට සහ කේ. බී. නදීකා ලක්මාලි මහත්මියට දාව සුරේඛා නදීෂානි (22), කෞෂල්‍යා (19) සහ චමෝද් මදුසංක (13) යන දරුවන් අතරින් මදුෂංක පවුලේ බඩ පිස්සාය.

වසර 10කට පෙරත් පියා මිය යාමත් සමඟ දරුවන් තිදෙනාගේ වගකීම කරටගත් ලක්මාලි මාතාවට එම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙමින් උස් මහත් කිරීමට වෙර දැරුවේ අනේක දුක් කන්දරාවක් දරමිනි.

පියා නැතිවනවිට වසර 3ක් වූ මදුෂංක නමැති මෙම පවුලේ එකම පිරිමි දරුවා පවුලට මිණි පහනක් වේය කියා සිතූ මව ඔහුගේ ළමා ජීවිතයට කිසිම අඩුවක් නොකර ආදරයෙන් උස් මහත් කිරීමට කටයුතු කළේ දාරක ප්‍රේමයෙන් යුක්තවයි.

සිංහල අලුත් අවුරුද්ද රිසිසේ සැමරූ මේ මව සහ දරුවන් ගන්දර මහහේන ප්‍රදේශයේ සිටින ලොකුමාමාට බුලත් හුරුළු දී වැඳ ආශිර්වාද ලබාගැනීම සඳහා පසුගිය 17 වන දින සවස ගන්දර මහහේන ප්‍රදේශයට යන්නේ ඉදිරියේ දී සිදුවන විපත ගැන කිසිම දැනීමක් නොමැතිවය.

මෙම ඥාති ගෙදර පිටුපස කඳුගැටෙන් පල්ලෙහා නිල්වන් මුහුදින් ‍ බබළමින් සිසිල් සුළං රැළි දසත පැතිරෙමින් තිබූ අවස්ථාවක් විය.

චමෝද් මදුෂංක(13) පුතා සහ ලොකු මාමාගේ දියණිය වන නෙත්මිණ රසාංජනා(8) සවස 2.00ට පමණ ලොකු මාමාගේ නිවසේ මිදුලේ ඒ මේ අත දුව පනිමින් සෙල්ලම් කිරීමෙන් පසු චමෝද් මදුෂංක පුතාගෙන් නැ‍ගණියට යෝජනාවක් ඉදිරිපත් විය.

එය බිලී පිත්තක් ගෙන මාළු බෑමට මුහුදට යමු යන යෝජනාවයි. මෙය එක පයින් නෙත්මිණි නැගණිය අනුමත කිරීමෙන් පසු චමෝද් මදුෂංක මුළු තැන්ගෙට ගොස් තැම්බූ මාළු කෑල්ලක් ගෙන නිවසේ පිටුපස තිබූ බිලී පිත්තක්ද ගෙදර අයට හොරා රැගෙන නිවස පිටුපස මුහුදේ ගල්තලාවට පිවිස‍ියේ මාළුන් යහළුවන් කියා සිතමිණි.

මෙසේ ගොස් මාළු කැබැල්ල බිලී කොකුවේ අමුණා දියට දමනවාත් සමඟම කකුල් දෙකේ පැළැඳි සපත්තු ලිස්සා මෙම මදුෂංක පුතා මුහුදට වැටී ඇත. 

මේ අවස්ථාවේ මෙම දරුවා මහත් ආයාසයෙන් පිහිනමින් අත්දෙක ඉහළට ඔසවා බේරාගන්න කියා විලාප තැබීමත්, ඒ අසල සිටි නැගණිය අයියා මුහුදේ වැටුණා කියා දෙන විලාප හඬ මවට ඇසී බලනවිට තම පුතණුවන් අත්දෙක ඉහළට ඔසවා කෑගැසීමත් සමඟ මෙම මව ආධාර ඉල්ලමින් ගල්තලාව දෙසට දිවයන විට මවගේ හද කම්පා කරමින් චමෝද් පුතු දිය යට ගියේ තවත් නොඑන ගමනක් සනිටුහන් කරමිනි.‍

මුළු ගන්දරම අවුරුදු අසිරියට විරාමයක් තබමින් අවුරුදු රතිඤ්ඤා හඬ මැකී යාමට පෙර සිදු වූ හද කම්පා කරන මෙම මරණය ගැන ගන්දර ජනතාව කථා කරන්නේ මහත් සංවේගයෙනි.

 මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන ‍

No comments:

Post a Comment

Post Bottom Ad