දැනට පවතින තත්වය අනුව PCR පරීක්ෂණ මත පමණක්ම පදනම් වෙමින් කොරෝනා මර්දනය ඉදිරියට ගෙනයා නොහැකි බවත් ඒ සඳහා මහා පරිමාණයෙන් ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක පරීක්ෂණය (Antibody test) කරමින් විශාල ප්‍රජාවක් නිරීක්ෂණය කළ යුතු බවත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
"අපි කල්පනා කරනවා මේක ටිකක් වෙනස් විදියට කල්පනා කරන්න ඕනෙ තත්වයක් කියලා. ඊට හේතුව වසංගත රෝග විද්‍යා අංශය තවමත් උත්සාහ කරනවා මේ හැම පොකුරකටම අදාළ රෝගයේ සම්භවය කියන තැන හොයාගන්න. ඉතිං ඔවුන්ට අපි ඒ කාර්යය සඳහා ඉඩ දිය යුතුයි. ඔවුන් නිල වශයෙන් මේක මේ සම්භවයක් නෑ කියන තුරු අපට බලාගෙන ඉන්නට වෙනවා.
නමුත් අපේ පැත්තෙන් අපි කියන්නෙ මේ සම්භවය කියන කාරණාව සඳහා එකතු කරන දත්ත වලදි මේ වෙනකොටත් අපට ගැටළු සහගත තත්වයක් ගොඩනැඟිලා තියෙනවා, ඒ තමයි සම්භවය කෙසේ වෙතත් සමහර වෙලාවල් වලට අපට විශ්වාස කරන්නට වෙනවා මේ වෙලාවෙ සමාජයේ රෝගය තිබියදී නොදැන සුවපත් වෙන ප්‍රමාණයක් සහ රෝගය තිබියදී සඟවාගෙන ඉන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ අය සම්බන්ධයෙන් අපට දත්ත ලැබෙන්නෙ නෑ, බුද්ධි අංශයට දත්ත ලැබෙන්නෙත් නෑ. ඒ තත්වයත් එක්ක අපි මේක සමාජගත වීම කියලා සලකලා කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.
මොකද, ඒකෙදි අපි විශෙෂයෙන්ම මහජනතාවගේ පැත්තෙන් කියන්නෙ තමන්ට පොකුරකට සම්බන්ධ වුණත් නැතත් මේ රෝගයේ වෙන වෙන අක්මුල් සොයමින් ඉන්න එපා. තමන් අවට ඉන්න ඕනෙම කෙනෙකුට මේ රෝගය තියෙන්න පුළුවන්. මේ රෝගයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි 80%ක පමණ රෝගීන් රෝග ලක්ෂණ නැතුව රෝගය බෝ කරන්න පුළුවන් අය ඉන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ප්‍රතිදේහ පරීක්ෂණ පිළිබඳ විමසීමේදී ඒ මහතා පැවසුවේ "අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දිගින් දිගටම කිව්වෙ සමාජ පැතිරීම කියන කාරණාවටත්, අනෙකුත් කාරණා බොහොමයකටත් අදාළ වෙනවා මේ රෝගය හැදිලා සුවපත් වෙච්ච එක්කෙනා හොයාගන්න එකත් මහා පරිමාණයෙන් මිනිස්සුන්ව පරීක්ෂාවට ලක් කිරීමත් කියන එක. ඒකෙදි අපි දිගින් දිගටම දරණ මතය තමයි පීසීආර් පරීක්ෂණය මත පමණක් පදනම් වෙලා මේ වැඩේ දිගටම කරගෙන යන්න බැහැ කියන එක. නමුත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි තීන්දුවක් අරගෙන නෑ. අපට වාර්තා වෙනවා මේ වෙනකොට යම් යම් උත්සාහයන් ගන්නවා කියලා, නමුත් දැනටත් පි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලන්නෙ විශේෂයෙන්ම මේක ව්‍යාපාරික පැත්තෙන් හිතලා කරන්නට එපා, සියලු දෙනාට අවස්ථාව දීලා මේ ඇන්ටිබොඩි ටෙස්ට් කියන එක කිරීමට ආරම්භ කරන්න.
ඒවගේම ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රොටොකොල් එකක් හැදෙන්න ඕනෙ. කොයි පරීක්ෂණයටද පීසීආර් එක කරන්න ඕනෙ, කොයි පරීක්ෂණයටද ඇන්ටිබොඩි ටෙස්ට් එක කරන්න ඕනෙ, කොතනදිද අපි ඇන්ටිබොඩි පරීක්ෂණ වාර්තාව නැවත පීසීආර් පරීක්ෂණයකින් තහවුරු කරන්නෙ, ක්‍රොස් චෙක් කරන්නෙ කියන ඒවා සම්බන්ධයෙන් න්‍යායාත්මක තත්වයක් ඇතිවිය යුතුයි. එහෙම නැතිව මේක අර අහඹු පරීක්ෂණ ක්‍රියාවලික් .... විශේෂයෙන්ම අර ක්ෂණික පරීක්ෂණ කට්ටල විශාල වශයෙන් රටට පැමිණෙමින් තියෙනවා, ඒවගේ ක්‍රියාවලියකට යන්න කියලා නෙවෙයි අපි මේ කියන්නෙ. අපේ රටේ මූලික රෝහල් පද්ධතිය දක්වාම මේ උපකරණ තියෙනවා, ක්ෂණික පරීක්ෂණ නෙවෙයි අපි මේ කියන්නෙ ප්‍රතිදේහ පරීක්ෂණ මූලික රෝහල් දක්වා ව්‍යාප්ත කරලා බල්ක් ස්ක්‍රීනිං, විශාල ප්‍රමාණයෙන් ස්ක්‍රීන් කරන එක. විශේෂයෙන් මේ මුහුදුබඩ ප්‍රදේශය ආශ්‍රිතව අපි බරපතළ ලෙස සැක කරනවා ඉන්දියාවෙ සහ ශ්‍රී ලංකාවෙ ධීවර ප්‍රජාව අතර තියෙන නීත්‍යානුකූල නොවන සහ නීත්‍යානුකූල ගනුදෙනු හරහා මේ රෝගය පැතිරෙන්නට ඉඩකඩක් තියෙනවා කියලා. ඒනිසා බල්ක් ස්ක්‍රීනිං කියන එක කරන්න නම් අපට ඇන්ටිබොඩි පරීක්ෂණය සාර්ථකව කරන්න වෙනවා, ඒ සඳහා එන් එම් ආර් ඒ ( ජාතික ඖෂධ නියාමන අධිකාරිය ) ආයතනයේ බාධාවන් කිහිපයක් තියෙනවා, ඒවා ඉවත් කළ යුතුයි කියලා තමයි අපි කියන්නෙ" යනුවෙනි.
දැනට මෙරට තුළ පවතින්නේ සමාජ ව්‍යාප්තියක්ද නැද්ද යන්න විමසීමේදී, "අපි පැහැදිලිවම වසංගත රෝග විද්‍යා අංශයට බාධා නොකළ යුතුයි. ඒක ඔවුන්ගේ රාජකාරිය. ඔවුන් උපරිම උත්සාහ කළ යුතුයි මේක කිසියම් පොකුරකට සම්බන්ධ කරගන්න. ඒක ඇතුළෙ තමයි අපේ රෝග පාලනයෙ සාර්ථකත්වය තියෙන්නෙ. නමුත් මහජනතාවගේ පැත්තෙන් සහ සමහර අදහස් දැක්වීම් වලදි මේක සමාජ ව්‍යාප්තියක් නොවේය කියන එක බාධාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියන එක තමා අපෙ අදහස. මොකද වසංගත රෝග විද්‍යා අංශයට මේ කාරණාව කරන්න නම් සමාජයේ තියෙන සියලු දෙනාගේ තොරතුරු පැමිණිය යුතුයි. ඒ තොරතුරු ලබාගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයකට අවතීර්ණ වෙලා තියෙන්න ඕනෙ. එතකොට මේ පැතිරීම සම්බන්ධයෙන් කරන විශේෂයෙන්ම ඇන්ටිබොඩි පරීක්ෂණ කරන්නෙ නැති තත්වයක් යටතේ, 80%ක් නිකම්ම හොඳවෙන්න පුළුවන් තත්වයක් යටතේ, මේ රෝගය දැන් සමාජයේ හංගාගෙන ඉන්න දරණ උත්සාහයක් යටතේ, අපට වාර්තා වෙනවා සමහර අය මේ පොසිටිව් වාර්තා ලැබුණා ඒවා විවිධ පොකුරුවලට සම්බන්ධ කරගන්න සමාජ තලයනුත් හැදිලා තියෙනවා කියන එක. ඉතිං මේවාත් එක්ක මේක සමාජ පැතිරීමක් නොවේය කියන්න සාධක සම්පූර්ණ කරලා නෑ. ඉතිං සමාජ පැතිරීමක්ය නොවේය කියන්න උත්සාහ කරන ගමන් සමාජ පැතිරීමක් කියලා සලකා කටයුතු කරන එක තමයි අපි විස්වාස කරන්නෙ, මොකද එහෙම නැත්නම් මේක ලිහිල් ස්වභාවයකට යනවා. මේ මොහොතේ අපි කියන්නෙ ඕනෑම කෙනෙකුට සමාජයේ මේ රෝගය තියෙන්නට පුලුවන්. අහඹු ලෙස පැතිරෙන්නට පුලුවන්. අපි දන්නැති අයට රෝගය තියෙන්න පුලුවන්. අපි දන්නැති අයට රෝගය හැදිලා සුවපත් වෙලා ඉන්නත් පුලුවන් කියලා" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
"PCR පරීක්ෂණ ධාරිතාවයේ ගැටළුවක් කොහෙවත් නෑ. මේ දෙක පටළවා ගතයුතු නෑ. ඇත්තටම රජයේ රසායනාගාර සේවාව අපට 10,000කට වගේ වුණත් යන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයකට යන්න සෞඛ්‍ය අමාත්යාංශය අදාළ තාක්ෂණික පහසුකම් දෙනවා නම් අසීරුවක් නෑ. අපි කාර්ය මණ්ඩල යොදවලා තියෙනවා, කිසිම තැනක හිඟයක් නැතිව ඕනෑම තැනක ඕනෑම වෙලාවක PCR පරීක්ෂණයක් කරන්න.
නමුත් PCR පරීක්ෂණය කියන්නෙ ඒ පරීක්ෂනය තුළම සීමාන්තික සාධක ගණනාවකට මුහුණ දෙනවා. මොකද PCR පරීක්ෂණයක් සඳහා ගන්න නිදර්ශකයේ වෛරසය නැතිවෙන්න පුළුවන්, ඒ නිදර්ශකය ගැනීමේ ක්‍රමවේදය නැතිවෙන්න පුළුවන්, නිදර්ශකය එවන ක්‍රමය, මේ සියල්ලම එක්ක සීමාන්තික සාධක ගණනාවක් තියෙනවා. ඒනිසා අපි දිගින් දිගටම දරණ ස්ථාවරය තමයි PCR පරීක්ෂණ අපි රැකගත යුතුයි රෝගියා හඳුනාගැනීමට, ප්‍රතිකාර කිරීමට සහ සුවපත් වුණාද කියන එක තහවුරු කරගන්න. නමුත් අපි සමාජය තුළ රෝගය තියෙනවාද කියලා බලන්න, සමාජය අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරන්න, සමාජය විශාල ලෙස පරීක්ෂාවට ලක් කරන්න ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක පරීක්ෂණය කියන එක වැඩි වශයෙන් යොදාගත යුතුයි. ඒ සඳහා අපට මූලික රෝහල් දක්වාම පහසුකම් තියෙනවා දැනටමත්, උපකරණ තියෙනවා, මේ ප්‍රතික්‍රියක ගෙන්නලා දෙනවා නම් අපට විශාල ප්‍රමාණවලින් මේ පරීක්ෂණය ආරම්භ කරන්න පුළුවන්. නමුත් ඒක සම්බන්ධයෙන් කිසියම් කඹ ඇදිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් තියනවා මං දන්නෙ නෑ මොකක්ද කියලා. ඒවා ගැන අපිත් එක්ක කතා නොකරන තත්වයක් තියෙනවා රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. අපි ලෑස්තියි මේ තියෙන පහසුකම් යටතේ මූලික රෝහල් දක්වා මේක පටන් ගන්න. ඒක පටන් ගැනීම හැර PCR පරීක්ෂණ මත පමණක් පදනම් වෙලා මේක කරන්න බෑ කියන එකයි අපි මුල ඉඳන්ම දරපු ස්ථාවරය" යනුවෙනුයි PCR පරීක්ෂණ ධාරිතාවය පිළිබඳ ඒ මහතා පැවසුවේ.
රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ අද (24) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහක් හා සම්බන්ධ වෙමිනි.
No comments:
Post a Comment