"නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 8, 2020

"නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ"

ගොඩ නගන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම එකඟ වූ පසු එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

පක්‍ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීම කල්දමමින් සිටින එක්සත් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියේ දී ගොඩනගන නව සන්ධානයේ කටයුතු සඳහා ද බාධා කරමින් සිටින බව මන්ත‍්‍රීවරයා කීවේය.

‘මලඉලව් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් නිසා පක්‍ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගැනීමට නොහැකි වී තිබෙනවා’ යැයි ද සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.

තමන්ට එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි වූයේ පක්‍ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දිය යුතු බව ප‍්‍රකාශ කළ නිසා බව කී සරත් ෆොන්සේකා මහතා තමන් එම තීරණය අනුමත නොකරන නමුත් එය ඉල්ලාගෙන පස්සෙන් නොයන බව ද සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ  (7) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

නාමිකව, ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්‍ෂ නායකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා වුවත් ප‍්‍රායෝගික නායකයා වන්නේ ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂකයා හා සන්ධාන නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින ඇතැමුන් දේශපාලන වශයෙන් ක‍්‍රියාකාරී නැති, පාක්‍ෂිකයින් දෙදෙනෙකු හෝ ඒකරාශී කරගැනීමට නොහැකි අය බව කී මන්ත‍්‍රීවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිතවතුන් පත්කර ගැනීමෙන් පක්‍ෂයට ප‍්‍රයෝජනයක් වන්නේ නැතැයි ද කීවේය.

ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛව ගොඩනගන නව සන්ධානය යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad