කෑගල්ල මහ රෝහලට දරු ප්‍රසූතියට ගිය කිසිම ලෙඩක් නැති දියණියගේ සිරුර මෝචරියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 27, 2020

කෑගල්ල මහ රෝහලට දරු ප්‍රසූතියට ගිය කිසිම ලෙඩක් නැති දියණියගේ සිරුර මෝචරියේ

මම මිසීලට මේගැන කීවා. මෙයාලා කීවේ දුව දඟලන නිසා නින්ද යන්න බේත් දීලා තියෙන්නේ කියලා.
එයාට කිසිම අසනීපයක් තිබුණේ නෑ
දරු ප්‍රසූතියක් සඳහා කෑගල්ල මහරෝහලට ඇතුළු කෙරුනු තරුණ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් ඇගේ මව කළ පැමිණිල්ල අනුව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් වෛද්‍ය සභාවටත් ලිඛිතව දැනුම් දුන් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉ​මේෂ් ප්‍රතාපසිංහ ප්‍රකාශ කරනවා.
පසුගිය නොවැම්බර් 21 දින දරු ප්‍රසූතිය සඳහා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ ගැබිනි කතක් 8 වැනි දින කෘත්‍රිමව දරුවා බිහිකිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේදී දෙසැම්බර් 1 දා මිය ගොස් තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ ජී.එන්.ජී. උත්පලා නිල්වලා නමැති 29 හැවිරිදි කාන්තාවකි. ඇගේ මව මෙම මරණය සිදුවූයේ වෛද්‍ය හා එම කාර්ය මණ්ඩලයේ වරදින් බවත් එය සැක සහිත බැවින් සාධාරණ පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලා කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත පෙරේදා (25 වැනිදා) පැමිණිල්ලක් කර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
මියගිය කාන්තාවගේ මව වන රඹුක්කන සිටන්නාගම පදිංචි සාමා ප්‍රියංගනී මහත්මිය සඳහන් කරන්නේ
මගේ දුව උත්පලා මට හිටපු එකම දරුවා. එයා විවාහ වුණේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළකු වන අනිල් පුතා සමගමයි. විවාහ වෙලා වසර 8ක් යනතුරු දරුවකු ලැබු​ණේ නැහැ. පසුව දරුවකු හදාගන්න ගත්තා. ඒ අතරේ දුවට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා. ඒ නිසා ගල්ගමුවේ ඉඳලා හදාගත්ත දරුවයි දුවයි රඹුක්කන මගේ ගෙදරට ආවා. සායනවලට ගියා. චැනල් කරලා කෑගල්ල මහ රෝහලේ විශේඥ ව්‍යෛවරයකුගෙන් උපදෙස් ගත්තා.
එයාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. කන ඇසීමේ අඩුවක් නම් තිබුණා. විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් දුන්නා නොවැම්බර් 25 දින හෝ ආසන්න දිනකදී දරුවා ලැබෙන බව. ඒ අනුව නොවැම්බර් 21 දින දුවව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළා. 25 දින පසු වුණත් දරුවා බිහි වුණේ නෑ.
27 වැනිදා දරුවා හම්බවීම ඉක්මන් කරන්න Cinto කියන බෙහෙත දුන්නා. ඊට පස්සේ සූතිකාගාරයට ගෙන ගියා. 28 වැනිදා රාත්‍රියේ 7.00ට විතර දරුවා බිහිකරලා තියෙනවා.
දරුවා බිහිවුණාට පස්සේ දුවට අමාරු වෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 29 වැනිදා ඉඳලා දෙසැම්බර් 1 වැනිදා වෙනතුරු දැඩි සත්කාර ඒකකයේ හිටියේ. මමයි දුවගේ මහත්තයයි එයාව බලන්න දැඩි සත්කාර ඒකකය ඇතුළට ගියා. දුවගේ ඇස්දෙක වහල තිබුණේ. මම දුවේ කියලා කතා කළා. මිසිලා කීවා කතා කරන්න එපා කියලා.
මම දුවගේ අත ඇල්ලුවාම ඒ අල්ලපු තැන රතුපැහැ ගැන්වුණා. මම මිසීලට මේගැන කීවා. මෙයාලා කීවේ දුව දඟලන නිසා නින්ද යන්න බේත් දීලා තියෙන්නේ කියලා. දෙසැම්බර් 1 වැනිදා අපි දුව බලන්න යනකොට එයා මියගිහින් මිනී කාමරයටත් දමලා. අපේ දුරකථන අංක රෝහලේ තිබුණා. එයාලා දුව මියගියා කියලා Call කරලවත් කිව්වේ නැහැ.
දුවගේ සිරුර කපලා අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් දුන්නා. මරණයට හේතුව පසුව දැනුම් දෙනවා කීවා.
දුව හදාගන්න ගත්ත දරුවට අවුරුද්දයි. ලැබුණ දරුවට මාස 1 1/2යි. දැන් අම්මා නැතිව දරුවෝ දෙන්නෙක් හදාගන්න වෙලා.
දරුවා බිහිකරන්න ගියහම කොතනක හරි වැරැද්දක් වෙලා කියලා මට හිතෙනවා. මට මේ මරණය ගැන සැක සහිත නිසා රෝහලේ අධ්‍යක්ෂතුමාට පැමිණිල්ලක් කළා. මගේ දුව මියගියා. වෙනත් අම්මෙකුට මෙහෙම දෙයක් වෙන්න දෙන්න එපා. මේ මරණයට හේතුව දක්වලා සාධාරණය ඉටුකරන්න කියලා මං ඉල්ලනවා.” යනුවෙනුයි.
මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේ “මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ ආචාරධර්ම කඩ වීමක් සිදුවී ඇත්දැයි අනෙක් කාර්යමණ්ඩලවලින් වරදක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න ඕනෑ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් පෙර වෛද්‍ය සභාවටත් ලිඛිතව දන්වා යැව්වා.” යනුවෙනුයි.

No comments:

Post a Comment

Post Bottom Ad