සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න යනු යහපාලන ආණ්‌ඩුව නිර්මාණය කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් කළ පුද්ගලයකු මෙන්ම වත්මන් ආණ්‌ඩුව තුළ ද නොබියව සිය අදහස් හා මතයන් ඉදිරිපත් කරනු ලබන ප්‍රබල දේශපාලන චරිතයක් ය.
පහත පළවන්නේ රටේ වත්මන් දේශපාලන සිදුවීම් සහ අනාගතයේදී සිදුවීමට නියමිත දේශපාලන චලනයන් පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ ‘SL News Web‘ විසින් සිදුකළ කථා බහක්‌ය.
ප්‍රශ්නය – ලබන ජනාධිපතිවරණයට ආදී ආනන්දියෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවා කියන්නෙ ඇත්තක්‌ද ?
පිළිතුරු – ජනාධිපතිවරණයට තව කොච්චර කල් තියෙනවද? තාම ඒ ගැන කතා බහ කරනව විතරනෙ.
ප්‍රශ්නය – එක පැත්තකින් ගෝඨාභය මහත්තය ඉදිරිපත් වෙනවා කියල සමාජය තුළ මතයක් පවතිනවා.
පිළිතුර – එයාට ඉදිරිපත් වෙන්න පුළුවන්කමක් නැහැනේ.
ප්‍රශ්නය – ඔබතුමාල බයද ගෝඨාභය රාජපක්‍ෂ මහත්තය එන එකට
පිළිතුර – නෑ එයා එනවනම් තමයි අපි කැමති. එයාගෙ නම දාපු හැටියෙ අපි පටන්ගන්නෙ සියයට විසිනමයකින්නෙ. මතක තියාගන්න මේ මැතිවරණ ක්‍රමය තුළ ඉතිහාසයේ පළමුවැනි ස්‌වාධීන මැතිවරණය පැවැත්වූවේ 2015 වර්ෂයේදී කියල. ඒ වෙනකම් මේ රටේ කිසිම මැතිවරණයක් සඳහා මුළු මහත් ජනතාවම සහභාගී වුණේ නෑ. හුඟක් කට්‌ටිය ඒ ඡන්ද ප්‍රතිඵල විමර්ශනය කරල තමයි ඔය එක එක මත ඉදිරිපත් කරන්නෙ. ඒක වැරදියි. පහුගිය ජනාධිපතිවරණයේදී තමයි මේ රටේ සියලුම ද්‍රවිඩ ජනතාව මුස්‌ලිම්වරු උතුරු නැගෙනහිර සියල්ලන්ම කිසිම බයක් සැකක් නැතිව ඡන්දය දුන්නෙ. ඒකෙ ප්‍රතිඵලය තමයි ජනවාරි 8 වැනිදා ලැබුණේ. ඒක වෙනස් කරන එක ලේසි නැහැ. ඒ ඡන්ද ටික ගන්න තමයි බැසිල් රාජපක්‍ෂ අද ඔය හැම සෙල්ලමක්‌ම දාන්නෙ. ඒක එයාට තේරෙනවා ඒ හින්ද එයා දැන් යාපනේ දුවනවා ඒ ඡන්ද ටික ගන්න. ඒ සඳහා පෙන්න පෙන්න යන්නෙ මහින්ද රාජපක්‍ෂව. හැබැයි ඒක ගෝඨාභයට තේරෙන්නෙ නෑ. ගෝඨාභයට ඒ ඡන්ද ටික ගන්න පුළුවන් වෙන්නෙ නෑ කවදාවත්ම. මුස්‌ලිම් ඡන්ද ගන්න පුළුවන් කමකුත් නෑ. මොකද මුස්‌ලිම්වරුන්ට පින්තූර තුන හතරක් විතරයි අපි පෙන්වන්න ඕන. ගිනි තියපු ඒවයි ගෝඨාභය කරපු තව වැඩ ටිකකුයි පෙන්නපු ගමන් මුස්‌ලිම් ඡන්ද දායකයො ගෝඨාභයට ඡන්දෙ දෙන්නෙ නෑ. පොඩි මතක් කිරීමක් විතරයි කරන්න තියෙන්නෙ. එතකොට මහින්ද රාජපක්‍ෂ එක්‌ක කනබොන මුස්‌ලිම්වරු ටික ඉතුරු වෙයි. අනිත් කට්‌ටිය විරුද්ධ වෙනවා. ඉතින් ඒ හින්ද ගෝඨාභය තමයි හොඳම අපේක්‍ෂකයා. හැබැයි එයාට අපේක්‍ෂක කමවත් ගන්න පුළුවන් කමක් නැහැ. ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන හින්දා. එයා ඇමරිකානු පුරවැසියෙක්.
ප්‍රශ්නය – ඇමරිකානු පුරවැසිභාවය අයින් කර ගැනීම විතරනෙ ඒ සඳහා කළ යුත්තේ ?
පිළිතුර – එහෙම ඉවත් කරගන්න බෑනෙ. පුළුවන් නම් ඉවත් කරගන්න කියන්නකො. ලංකාවේ හුඟ දෙනෙක් හිතනවා එහෙම පුළුවන් කියලා. එහෙම බැහැ. ඒක තමයි ඇත්ත කතාව. කවුරු හරි කෙනෙක් වෙනත් රටක පුරවැසිකම ඉල්ලූ විටක ඒ රට විසින් කාරණා කීපයක් පිළිබඳව සොයා බලනවා. ඒ වගේම තමයි පුරවැසි බව ඉවත් කරගන්න ගියාමත් ඔහු හෝ ඇය පිළිබඳ ඒ රට විමසිලිමත් වෙනවා. ඇයි එක පාරටම පුරවැසිකමෙන් ඉවත් වෙන්නෙ කියලා. ඒ ඉවත්වෙන පුද්ගලයට විරුද්ධව ඒ රටේ නඩු තියෙනවද, එහෙම නැත්නම් ඒ රටට ණයවෙලා තියෙනවද, පොලිසියේ චෝදනා තිබෙනවද ආදී සියල්ල පිළිබඳ හොයල බලල තමයි පුරවැසිභාවයෙන් ඉවත් වෙන්න අවසර දෙන්නෙ.
අන්න එතනදී ගෝඨාභය හිර වෙනවා. මොකද එයාට විරුද්ධව දැනටමත් මානව හිමිකම් කඩකළ බවට ඇමරිකා අධිකරණයේ නඩු පවරල තිබෙනවා ඒ රටේ මිනිස්‌සු. මතක තියාගන්න ඇමරිකාවෙ මානව හිමිකම් නීතියෙම තියෙනවා ඇමරිකානුවෙක් ලෝකෙ කොයි රටක ගිහින් හරි මානව අයිතිවාසිකම් කඩල තිබුණොත් ඇමරිකන් උසාවියකදී එයාට දඬුවම් දෙන්න පුළුවන්. අද ගෝඨාභයට වෙලා තියෙන්නෙත් ඔන්න ඕකයි. ඒ රටේ ගෝඨාභයට විරුද්ධව පවරල තියෙන නඩුව ඉවර වෙනකම් එතනදීත් ඔහු නිවැරදි වෙනවා නම් විතරක් ඔහුට පුරවැසි බවින් අයින් වෙන්න පුළුවන් වෙන්නෙ. හැබැයි ඒකට තව කාලයක් යයි.
ප්‍රශ්නය – මේ වන විට ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එ. ජා. පක්‍ෂය ඇතුළතත් අර්බුදයක් මෝරමින් පවතිනවා. ඇතැම් එ. ජා. ප. ප්‍රබලයන්ගේ මතය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයගේ නායකත්වයෙන් ජනාධිපතිවරණය දිනන්න බැහැ කියන එක.
පිළිතුර – නෑ අර්බුදයක් නැහැ. ඔය එක එක කතා කියන කට්‌ටිය අමුඩෙ ගහන්නෙ මුහුද හත් ගව්වක් තියෙද්දිනෙ. අපි එහෙම නැහැ. අපි ඒක කරන්නෙ මුහුද ළඟට ගියාට පස්‌සෙනෙ. ගිය සැරේ මතකනෙ. අනිත් ඔක්‌කොම කට්‌ටිය අමුඩ ගහගෙන හිටියෙ ඒ ගොල්ලො ඇඳගෙන හිටියෙ.
ප්‍රශ්නය – ඔබතුමා කීප අවස්‌ථාවකදීම සඳහන් කරල තියෙනවා මේ පාරත් එන්නෙ පොදු අපේක්‍ෂකයෙක් කියලා. ඔහු එ. ජා. පක්‍ෂයෙන් පිට ඉන්න කෙනෙක්‌ද? එහෙම නැත්නම් ඔහුගේ හැඩරුව කොයි වගේද?
පිළිතුර – ඒක ඒ වෙලාවට කියන්නම්. ඒ වෙනකොට පවතින දේශපාලන වටපිටාවට අනුව සංඛ්‍යා ලේඛනවලින් ලැබෙන තොරතුරුවලට අනුව එහෙම නැත්නම් පසුගිය ජනාධිපතිවරණයේදී වගේ ලොකු ගවේෂණයක් කරල ඒ ඔක්‌කොම ටික ඉවර කරලා ඊට පස්‌සෙ අපි රටට කියන්නම් කවුද ජනාධිපතිවරණයේදී අපේ අපේක්‍ෂකයා විදිහට ඉදිරිපත් වෙන්නෙ කියලා.
ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට ශ්‍රී. ල. නි. ප. ප්‍රබලයන් කීප දෙනෙක් රට හමුවේ ප්‍රකාශ කරල තියෙනවා.
පිළිතුර – ඔව්. එතුමා එක් අපේක්‍ෂකයෙක්. අග්‍රාමාත්‍යතුමා එක් අපේක්‍ෂකයෙක්. ඒක තමයි දැනට තිබෙන තත්ත්වය. මේ ඔක්‌කොම අපි බලනවා. මොකද රාජපක්‍ෂ පවුල සහ ඒ අයගේ දේශපාලනය වගේ අපේ දේශපාලනය එක පවුලකට සීමාවෙලා නැහැ. එතන සිද්ධ වෙන්නෙ එක්‌කෝ මහින්ද නැත්නම් ගෝඨාභය. එහෙමත් නැත්නම් බැසිල් නැත්නම් චමල්, එහෙමත් බැරිනම් නාමල්. ඊටත් පස්‌සෙ තමයි ඔය ඒකාබද්ධ විපක්‍ෂයෙ නායකයො කියන අනිත් කට්‌ටිය හිටගන්නෙ. අපේ එහෙම එකක් නැහැ. අපි කට්‌ටියම එකට ඉන්නෙ. ඒ හින්ද අපි ඒ වෙලාවට කවුද සුදුස්‌සා කියලා තෝරගන්නවා. ඊට පස්‌සෙ අනිත් පිරිස ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් එකා වගේ කැප වෙනවා.
ප්‍රශ්නය – හමුදාව උතුරින් ඉවත් කරන්න යන බවට විශාල රාවයක් රට පුරා පැතිරෙමින් පවතිනවා. අගමැතිතුමත් ඒ කාරණය සඳහා උත්තරයක් දුන්නා. මොකක්‌ද ඒකෙ ඇත්ත නැත්ත.
පිළිතුර – අමූලික බොරුවක්‌නෙ. ඕක දිවයින පත්තරේ ගිය බොරුවක්‌නෙ. ඒක එහෙමම ලියන්නකො. ජනාධිපතිතුමා එදාම උදේ දිවයින කර්තෘතුමාට කතා කරලා කිව්වා බොරු ලියන්න එපා කියලා. ජාතික පුවත්පතකට ඔබින්නෙ නැති පිරිසකුත් දිවයින පත්තරේ ඉන්නවා. හැබැයි අතීතය ගත්තොත් දිවයින කියන්නෙ වැදගත් පත්තරයක්. අන්න ඒ වැදගත්කමත් එක්‌ක ඉස්‌සරහට යන්න කියලා මමත් දිවයිනට කියනවා.
ප්‍රශ්නය – නමුත් මේ ආණ්‌ඩුව ආවට පස්‌සෙ ජාතික ආරක්‍ෂාව පිළිබඳ යම් යම් ගැටලු ඇති වෙලා තිබෙනවා.
පිළිතුර – ජාතික ආරක්‍ෂාව පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. මේ ආණ්‌ඩුව ආවට පස්‌සෙ තමයි වඩාත් හොඳින් ජාතික ආරක්‍ෂාව තහවුරු වෙන්න ගත්තෙ. ජාතික ආරක්‍ෂාව නැති වෙලා තිබුණෙ පහුගිය රජය යටතේ. අපි එළියට බහින්න එක හේතුවක් තමයි ඒක. මුළු ලෝකයම මේ රටට විරුද්ධව නැගී හිටිය වෙලාවක් ඒක. ජාතික ආරක්‍ෂාව කියන එක තහවුරු වෙන්න ඕන උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගෙන් නෙවෙයි. ඒක සිද්ධ වෙන්න ඕන ජාත්‍යන්තරයෙන්. අපි මුලින්ම ගොඩනැඟුවේ ඒක. ඒ හින්ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මේ තරම් හොඳ කාල වකවානුවක් ඉතිහාසයේවත් තිබිල නෑ. අද විදේශීය වශයෙන් අපේ රටට කිසිම තර්ජනයක් ගර්ජනයක් නැහැ.
අභ්‍යන්තර ආරක්‍ෂාව ගත්තත් ඒකත් ඉතාමත් හොඳ මට්‌ටමක පවතිනව. උතුර ගත්තත් අද ඒ මිනිස්‌සු නිදහස්‌ව අදහස් ප්‍රකාශ කරනවා. ඔවුන් උපවාස කරනව විරෝධතා දක්‌වනවා. මේවා අපි දකින්නෙ අවුරුදු 30 කට පස්‌සෙ. විශේෂයෙන් මාව ගත්තොත් මම උතුරත් එක්‌ක විශේෂ සම්බන්ධතා තිබුණ පුද්ගලයකු වශයෙන් එදා අපිට මෙහෙම තත්ත්වයක් තිබුණෙ නෑ. නමුත් අද තිබෙන තත්ත්වය ඊට වෙනස්. ඒ අය නිදහසේ තම අදහස් ප්‍රකාශ කරනවා. ඒක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වෙන්නේ නැහැනෙ. ඒ දේවල් මර්දනය කරන්න ගියොත් තමයි ජාතික ආරක්‍ෂාවට යම් යම් තර්ජන එල්ල වන ක්‍රියා මාර්ග ඇති වෙන්න ගන්නෙ. උතුරට වුණෙත් ඒකයි. දකුණට වුණෙත් ඒ දේමයි.
ප්‍රශ්නය – එතකොට විජයකලා මහේශ්වරන් මන්ත්‍රීතුමිය කරන ප්‍රකාශ තර්ජනයක් නොවෙයිද ජාතික ආරක්‍ෂාවට
පිළිතුර – ඒක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නෙවෙයිනේ. එයා කටට ආපු දෙය කිව්ව. ඒකෙන් පේන්නෙ එයාගෙ අවබෝධයේ තරමනේ. ඔය කථාව සම්බන්ධන් මහත්තය වගේ කෙනෙක් කිව්ව නම් ඒක ගැඹුරින් ගත්තට කමක් නෑ. සමහර කට්‌ටිය කථා කරන්නෙ ඡන්දවලටනෙ. තවත් පිරිසක් ඉන්නව බොහොම වැදගත් විදියට කල්පනා කරලා රට ගැන හිතල ඒ අය ප්‍රකාශ නිකුත් කරනවා.
ප්‍රශ්නය – අවුරුදු තුනහමාරක් තුළ ආණ්‌ඩුව විසින් කරල තිබෙන දේවල් ගැන රටේ ජනතාව කතා වෙනවා. රටේ සංවර්ධනයක් නෑ. ජීවත් වෙන්න අමාරුයි කියන මතයේ තමයි, බොහෝ පිරිසක් ඉන්නෙ. ඇයි එහෙම මතයක් රට තුළ ගොඩනැඟෙන්නේ.
පිළිතුර – අපේ රටේ ජනතාව හැමදාම කිව්වෙ ඔය ටිකනේ. මට කියන්න නිදහසින් පසු බිහි වූ කොයි ආණ්‌ඩුවටද මේ රටේ මිනිස්‌සු හොඳයි කිව්වෙ කියල. ජීවන වියදම, බඩුමිල ඉහළ නොගිහින් තිබුණ කාලයක් කියන්aනකො. එහෙම නම් මේක සංවර්ධිත රටක්‌නෙ. ඔය අමාරුයි අමාරුයි කියල කෑ ගැහුවට එහෙම තත්ත්වයක් නෑ. මං පොඩි උදාහරණයක් කියන්නම්. පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේදී ලංකා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පත්වලින් පමණක් මේ රටේ ජනතාව රුපියල් බිලියන පනස්‌හතරක බඩු අරන් තියෙනවා. එතකොට මොකක්‌ද ඔය කියන අමාරුව.
ප්‍රශ්නය – ඉදිරියේදි වෛද්‍ය වැඩ වර්ජනයක් පවත්වන්නට නියමිත බවට රාවයක් පැතිරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිසියාකාරව පවත්වාගෙන යන්න ඔබතුමා අපොහොසත් බව ද ඒකෙන් කියවෙන්නේ.
පිළිතුර – නැහැ එහෙම එකක් සිද්ධ වෙන එකක් නැහැ. කරනව කිව්ව හැම වැඩ වර්ජනයක්‌ම ඒ ආකාරයෙන්ම සිද්ධ වුණේ නැහැ. ඒ කාලෙ අපිත් ඔහොම කිව්වා. කිව්ව පලියට මේ රටේ හැමදාම වැඩ වර්ජන සිද්ධ වුණේ නැහැනෙ.
ප්‍රශ්නය – මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න යනව. ඒ සම්බන්ධව ඇමැතිතුමාගෙ මතය මොන වගේ එකක්‌ද ?
පිළිතුර – මම කියන්නෙත් දෙන්න ඕන. නැත්නම් ඒකට වියදම් කරපු මිලියන 26500 හොයාගන්න වෙන්නෙත් පරිප්පු ටිකට, සීනි ටිකට බදු ගහලනෙ. මත්තල අපි තියාගෙන එතන ඉන්න මොනරු ටික බල බල ඉන්න පුළුවන්. මම මුලින්ම මහින්ද රාජපක්‍ෂ මහත්තයට ඔය ටික කිව්වා. මත්තල විවෘත කරන දවසෙ මම එතුමාට කිව්ව දැන් දකුණට වරායක් තියෙනවා. ගුවන් තොටුපළක් තියෙනවා. මේ දෙකෙන්ම සාර්ථක ප්‍රතිඵල ගන්න ඕන නම් අක්‌කර දහ පහළොස්‌දාහක නිදහස් වෙළෙඳ කලාපයක් ඇති කරන්න කියලා. නමුත් ඒ දේ කරගන්න ඒ ගොල්ලන්ට වැඩපිළිවෙළක් තිබුණෙ නෑ. ඒ හින්ද තමයි මත්තලයි හම්බන්තොටයි අසාර්ථක ව්‍යාපෘතීන් බවට පත්වුණේ. මේවට වගකියන්න ඕනෙ මහින්ද රාජපක්‍ෂ නෙවෙයි. ඒ සුන්දර මනුස්‌සය වටේ හිටිය අනිත් කට්‌ටිය තමයි මේවයෙ වගකීම භාරගන්න ඕනෙ.
ප්‍රශ්නය – වසර තුනහමාරක් ගෙවෙද්දී ඔබතුමාට මහින්ද රාජපක්‍ෂ මහත්තයව ‘සුන්දර මිනිසෙක්’ විදිහට පේන්න ගන්නව. ඒ මොකද ?
පිළිතුර – මම අවුරුදු 40 ක් තිස්‌සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයව ආශ්‍ර්‍රය කරනවනෙ. මම අවුරුදු කීයද එයාට විරුද්ධව හිටියේ. එයා සුන්දර මනුස්‌සයෙක් නෙවෙයි නම් මට අවුරුදු 40 ක් ඔහුව ආශ්‍ර්‍රය කරන්න පුළුවන්ද? එයත් එක්‌ක මම හැමදාම ගැටුණා නම් ගැටුණෙ දේශපාලන ප්‍රශ්න උඩ. මට කියන්න දෙයක් තිබුණා නම් මම ඒක මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ මූණටම කියපු කෙනෙක්.
ප්‍රශ්නය – පසුගිය ආණ්‌ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද වන විට මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙලා ඉන්නවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබතුමාට හිතෙන්නේ නැද්ද ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙන්න.
පිළිතුර – මට ඕන කරල තියෙන්නෙ තව අවුරුදු පහක් විතර මේ අමාත්‍ය ධුරයේ ම කටයුතු කරල මේ රට සෞඛ්‍ය පැත්තෙන් ලෝකයේ උසස්‌ම රට බවට පත් කිරීම. මේ වන විටත් සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් අපි ලෝකයේ ඉහළම තැනක ඉන්නව. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා පිළිඅරන් තියෙනවා.
ප්‍රශ්නය – ඒ කියන්නෙ ජනාධිපති අපේක්‍ෂකකම පිළිබඳ ඔබතුමාගෙ උනන්දුවක් නැහැ කියන එකද?
පිළිතුර – අවශ්‍යතාවක් ආවොත් සටනක් තියෙනව නම් ඒ සටනට මට යන්න කිව්වොත් මම යනව. දැනට ඒ සඳහා ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඉන්නවා. ඒ දෙන්නත් එක්‌ක ඉදිරියට ගිහින් රට හදන එකනෙ දැන් අපේ වගකීම වෙලා තියෙන්නේ. තනතුරුවලට නෙවෙයිනෙ රටේ ජනතාව සලකන්නෙ. ලංකාවේ ජනාධිපතිවරු අගමැතිවරු කී දෙනෙක් හිටියද ඇමැතිවරු කී දෙනෙක් හිටියද ඒ හැමෝටම රටේ ජනතාව එක විදිහට සලකනවද? නැහැනේ. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා අගමැතිකම් ජනාධිපතිකම් දැරුවද?. නමුත් ඒ මිනිස්‌සුන්ට අදටත් මේ රටේ ජනතාව සලකනව. ගරු කරනව. මමත් ඒ පරම්පරාවෙන් ඒ අයගේ ආභාසයෙන් පන්නරය ලබපු පුද්ගලයෙක්‌නෙ. දේශපාලනයේදී තියෙන්න ඕන තනතුරු නොවෙයි. නොකිළිටි නමක් විතරයි.
සාකච්ඡා කළේ : මනෝඡ් අබයදීර, රුවන් ජයවර්ධන
9,579 Viewers
No comments:
Post a Comment