අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද?
නළුකම මගේ වෘත්තිය නෙවෙයි. අද වෙද්දී දේශපාලනය තමයි මගේ වෘත්තිය. නමුත් මගේ හදවතින් මම රංගන ශිල්පියෙක්. මොකද හැමදාමත් මම කලාවට ආදරේ නිසා.
උදාරට වඩාත් පහසු දේශපාලනයේ නියැළෙන එකද නළුවෙක් විදියට රඟපාන එකද?
දේශපාලනය සහ කලාව කියන්නේ පැහැදිලිවම ක්ෂේත්රයන් දෙකක්. ඒ නිසා ඒ දෙක සමාන කරන්න බැහැ. නමුත් හරි විදියට කළොත් රංගනය සහ දේශපාලනය යන දෙකෙන්ම ජනතාවට සතුටක් ලබා දෙන්න පුළුවන්.
නළුකමෙන් වගේම දේශපාලනයෙනුත් අද වෙද්දී ඔබට ජනතාවට සතුටක් ලබාදෙන්න හැකිවෙලා තියෙනවාද?
ලංකාව වගේ රටවල දේශපාලකයා කියන චරිතය ගැන බොහෝ වෙලාවට ජනතාවගේ හිතේ මැවෙන්නේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. කලාකරුවාට නම් බොහෝවිට ඊට වැඩි ආදරයක් ප්රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. මම නිතරම උත්සාහ කරනවා, ජනතාවට සේවයක් කරලා ඒ ආදරය දේශපාලනඥයකු විදියටත් ලබාගන්න.
නෙලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිසා මේ දිනවල ඔබ ගැන සිනමා ලෝලීන් නැවතත් කතා බහ කරන්න පටන් ගෙන තිබෙනවා. නෙලා චිත්‍රපටයේ ඔබේ චරිතය විශේෂ එකක් කියලා කියන්න පුළුවන්ද?
ඇත්තටම ඔව්. මොකද මම අන්ධ තරුණයෙක් විදිහට තමයි නෙලා චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ.
පෙර හැදෑරීමක් නැතිව ඒ විදිහේ චරිතයක් රඟපාන්න ලේසි වුණාද?
කොහෙත්ම නැහැ. ඒ නිසා රඟපාන්න කලින් මාස 6ක විතර කාලයක් මම ඒ චරිතයේ ස්වභාවය ගැන විශාල හැදැරීමක් කළා. අන්ධ චරිත රඟපෑ නළු නිළියන් කළ රඟපෑම් අධ්‍යයනය කිරීම තමයි වැඩි වශයෙන් කළේ.
නෙලා ඔබේ පියා වන ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ බෙනට් රත්නායකගේ චිත්‍රපටයක්. මේ විදිහට පියාගේ චිත්‍රපටවලම රඟපාද්දී එක පැත්තකින් ඔබට විවේචනයකුත් එල්ල වෙනවා ඔබ රඟපාන්නේ තාත්තාගේ චිත්‍රපටවල විතරයි කියලා. මොකක්ද ඔබට ඊට දෙන්න තිබෙන පිළිතුර?
ඔය කියන චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. දැනට මම රඟපාලා තියෙන චිත්‍රපට හතරෙන් දෙකක් විතරයි තාත්තාගේ චිත්‍රපට. මම ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පෝරිසාදයා චිත්‍රපටයත් මේ දිනවල තිරගත වෙනවා. ඒක තාත්තාගේ නෙවෙයි. අනික තාත්තාගේ චිත්‍රපටවලම රඟපාන්න වුවමනාවක් තිබුණා නම් මම මීට කලින් තමයි ක්ෂේත්රයට එන්නේ. ඒත් මට වයස අවුරුදු 25ක් පසු වුණාට පස්සේ තමයි මම චිත්‍රපටයක රඟපෑවේ.
එතකොට උදාරව නළුවෙක් විදිහට වැඩිපුර දකින්න නොලැබෙන්නේ දේශපාලන ජීවිතයේ තිබෙන කාර්යබහුල බව නිසාද? නැත්නම් ආරාධනා අඩු නිසාද?
මට පසුගිය කාලේ රඟපෑමට ආරාධනා නොලැබුණේ නැහැ. රංගනයෙන් දායක වෙන්න තරම් සුදුසු හොඳ මට්ටමේ චිත්‍රපට ඒ අතර නොතිබිමයි මගේ නිහඬතාවයට ප්‍රධානම හේතුව වුණේ. මම මේ වෙනකොට තීරණයක් අරගෙනයි තියෙන්නේ. හොඳ චරිත තෝරා බේරාගෙන ඉදිරි අවුරුදු දෙකේ වැඩිපුර චිත්‍රපටවලට දායක වෙනවා.
කිෂාන් කනංකෙ
No comments:
Post a Comment