භද්‍රකාලි දේව ප්‍රතිමාවේ රන් දෙනෙත් සොරාගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 29, 2018

භද්‍රකාලි දේව ප්‍රතිමාවේ රන් දෙනෙත් සොරාගෙන



අනුරාධපුර පූජා භූමි ප්‍රදේශයේ මල්වතුඔය පටුමග අසල පිහිටි ඉපැරැණි ශ්‍රී භද්‍රකාලි දේවාලයේ තැන්පත් කර තිබූ භද්‍රකාලි දේව ප්‍රතිමාවේ ඔබ්බවා තිබූ රනින් නිමවූ දෙනෙත් ඉකුත් 26 වැනිදා රාත්‍රි කාලයේ කිසියම් පුද්ගලයෙක්‌ හෝ පිරිසක්‌ විසින් ගලවා සොරකම් කොට ගෙන ගොස්‌ ඇත.

ඡේතවනාරාම පූජා භූමියට නුදුරින් පිහිටි එම දේවාලයේ තැන්පත් කර තිබෙන භද්‍රකාලි දේව ප්‍රතිමාව වසර සියයකටත් වඩා පැරණි එකක්‌ බව ඒ අවට ප්‍රදේශවාසීහු පවසති.

මීට වසර කීපයකට පමණ පෙර පුද පූජා පැවැත්වීමට එහි පැමිණි බැතිමතුන් විසින් සම්මාදම් කළ මුදල් වලින් එම දෙනෙත රනින් නිමවා ඔබ්බවා තිබූ බව ජනතාව කියති.

දේවාලයේ භාරකරු පෙරේදා (27 දා) පෙරවරුවේ දේවාලය විවෘත කිරීමට එහි ගිය අවස්‌ථාවේ භද්‍රකාලි දේව ප්‍රතිමාවේ ඔබ්බවා තිබූ දෙනෙත් ගලවා ගෙන ගොස්‌ ඇති බව දැන ගැනීමෙන් පසු ඔහු ඒ පිළිබඳව අනුරාධපුර පොලිසියට පැමිණිලි කොට ඇත.

දේවාලයට සම්බන්ධ බැතිමතුන් පවසන්නේ මෙම දේව ප්‍රතිමාවේ රනින් නිමවා එබ්බවූ දෙනෙත් මත් කුඩුවලට ඇබ්බැහි වූ අයෙකු හෝ පිරිසක්‌ විසින් ගලවා ගෙන යන්නට ඇතැයි සැකකරන බවයි.

එම දේව ප්‍රතිමාවේ දෙනෙත් ගලවා සොරා ගෙන ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad