මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය වසර 05 ක් වැඩ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 16, 2017

මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය වසර 05 ක් වැඩ නෑ

MUSKELLIYA

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ විදුලි සෝපානය දැනට වසර 05 කට වැඩි කාලයක් අක්‍රීයව පැවතීම නිසා රෝගී ජනතාව හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටිති. මහල් 04 කින් යුත්  මස්කෙළිය  ප්‍රාදේශීය රෝහල වාට්ටු 06 කින් සමන්විත වේ. ප්‍රදේශයේ  තේ වතු 15 ක් හා ගම්මාන 08 ක් පමණ  මෙම රෝහල මගින් ආවරනය කෙරේ. 

දෛනිකව භාහිර රෝගී අංශයෙන් රෝගීන් 200 කට වැඩි පිරිසක් ප්‍රථිකාර ලබා ගැනීම සඳහා පැමිණෙති. සතියේ දින 04 ක පැවැත්වෙන සායන සඳහා විශාල රෝගීන් පිරිසක් සහභාගී වෙති. රෝහලේ පිහිටි විදුලි සෝපානය අබලන්ව තිබීම හේතුවෙන් ගැබිණි  කාන්තාවන් ඇතුලු අසාධ්‍ය රෝගීන් අදාළ වාට්ටු වෙත රැගෙන යා යුත්තේ රෝහල අභ්‍යන්තරයේ ඉහළ මහල් වෙත පිවිසීමට තනා ඇති  පඩිපෙලක් මාර්ගයෙනි.

මෙම පඩිපෙලෙන් අසාධ්‍ය රෝගීන් හා දෙවන මහලේ පිහිටි සූතිකාගාරය වෙත ගැබිනි කාන්තාවන් ඔසවාගෙන  යාමේදී රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන්ගේ ඥාතීන්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති. අසාධ්‍ය රෝගීන් පඩිපෙළ මතින් ඔසවාගෙන ඉහළ මහල් වෙත යාමේදී ඔවුන්ගේ ජීවිත අවධානමක්ද පවතින බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

මැතිවරණයක් ආසන්නයේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් පැමිණ විදුලි සෝපානය කඩිනමින් පිළිසකර කර දෙන බව පවසා ගියද මේ දක්වා එය ඉටුවී නොමැති බව පෙන්වා දෙන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ රෝහල් කමිටුව වැඩිදුරටත් පවසන්නේ, මේ සම්බන්ධව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුත්තන්ට වසර ගණනක් තිස්සේ දැනුවත් කිරීම් කළද එවා සියල්ල“බීරි අලින්ට වීනා වැයීමක්” වී ඇති බවත්ය.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

DSC02380 DSC02381

No comments:

Post a Comment

Post Bottom Ad