ඩිල්ෂාන් හිතන කොට මම කරලා ඉවරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 29, 2017

ඩිල්ෂාන් හිතන කොට මම කරලා ඉවරයි

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක්. ඒත් අද වෙද්දී ඩිල්ෂාන් ක්‍රීඩාවෙන් පොඩ්ඩක් ඈත්වෙලා. 

එහෙම ක්‍රීඩාවෙන් ඈත්වුණු ඩිල්ෂාන් ව්‍යාපාර පැත්තට වගේම තම ආදරණීය පුංචි කැදැල්ලටත් කාලය වෙන් කරලා. ඉතින් ටිකක් නිවාඩු පාඩුවේ නිස්කලංකව ඉන්න වෙලාවක අපිට හිතුණා ඩිල්ෂාන් ගැන ඔහුගේ ආදරණීය බිරිය මංජුලා තිළිණිගෙන් අහන්න.

මංජුලා ඩිල්ෂාන් දැන් ක්‍රිකට් අත්හැරලමද?

නෑ... ඩිල්ෂාන් ක්‍රිකට් අත්හැරලා නෑ... ඩිල්ෂාන් කවදාවත් මුදල් පස්සේ යන කෙනෙක් නෙමේ. එයා හරි ආසයි මේ වත්තේ ඇවිදින්න. වත්තට වෙලා වත්ත අතුපතුගාලා ගස්වලට වතුර දාලා හරිම නිදහසේ මේ පරිසරය විඳින්න එයා ආසයි. පසුගිය කාලවලදී ක්‍රිකට් නිසා මේ දේවල් එයාට කරගන්න බැරිවුණා. උදවු කරන්න ඕන අයට ඒ කාලයේදී එයාට උදවු කරගන්න බැරිවුණා. සමහර අයට කරන්න තිබුණ සමහර යුතුකම් පසුගිය කාලයේත් එයාට මඟහැරැණා. ඉතින්.. ඒ දේවල් එක්ක එයාට මේ කාලයේදී ඒ හැම දෙයක්ම හිතේ සතුටින් කරන්න පුළුවන් වුණා. මේ දවස්වල එයාට ආරාධනා ලැබුණු ටූනමන්ට් සෙල්ලම් කරන්න යන්න හිතාගෙනයි ඉන්නේ.

 ඔය නිදහස ඔය පරිසරය විඳින්න හිතාගෙනද ඔය දෙන්නා ව්‍යාපාරික කටයුත්තක් කියලා හොටෙල් එකක් පටන් ගත්තෙ?

ඔව්... ඒක ඇත්ත. අපි "ඩී. පැවිලියන්" කියලා හොටෙල් එකක් පටන් ගත්තා. ඒක තිබෙන්නේ පාමන්කඩ. බොහෝ දෙනා පුදුම වෙනවා කොළඹ නගරයේ කොහොමද මේ තරම් නිදහස් තැනක් තියෙන්නෙත් කියලා. අද වෙද්දී බොහෝ විදේශ සංචාරකයින් ගණනාවක් අපේ හොටෙල් එකට ඇවිත් තියෙනවා. ඒ හැමෝම හරියට සතුටු වෙනවා.

මේ හොටෙල් එකේ එක එක විශේෂිත තැන් තිබෙනවා නේද?


ඔව්... ඔය කියන්නේ අපේ හොටෙල් කාමරවලට දාපු නම් ගැන නේද? ඇත්ත.. ඒක ටිකක් විශේෂයි. කොළඹ හොටෙල්වල තියෙන ලොකුම කාමරය තියෙන්නෙත් අපේ හොටෙල් එකෙයි. මේ හොටෙල් එකේ කාමර නම් කරලා තිබෙන්නේ ක්‍රිකට් ග්‍රවුණ්ඩ් එකක තියෙන නම් වලින්. ලෝන්ඔෆ්, එක්ස්ට්‍රා කවර්, ලොන් ඕන් වගේ නම් වලින්. ඩිල්ෂාන් එක ටුවර් එකකට ගිහින් ඉද්දී තමයි මම මේ නම් දැම්මේ. ඇවිත් එයා බලද්දී එයා හරියට පුදුම වුණා.

 මංජුලා... ව්‍යාපාරයකට අතගහන්න හිතුණේ ඇයි?

ම්... මේක මගෙයි ඩිල්ෂාන්ගෙයි කාලයක් තිස්සේ තිබිච්ච අදහසක්. අපි දෙන්නා පිටරටවල ගියාම ඒ රටවල හොටෙල්වල ලස්සන, පිළිවෙළ එහෙම බලනවා. ඩිල්ෂාන් තනියම ගියාම ඒ දකින ලස්සන තැන්වල එයා ෆොටෝ ගහනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අපිට හිතුණා හොඳ හොටෙල් එකක් කරන්න ඕනෙ කියලා.

 මම දන්න තරමින් මංජුලා හොඳ ගෘහණියක්. ඒකනේ රංගනයෙනුත් මංජුලා අයින්වෙලා තියෙන්නේ. කොහොමද මේ ජීවිතේ?

මම මේ ජීවිතේට හරි ආදරෙයි. ජිවිතේ හැම දෙයක්ම ලේසි නෑ. අද මම ව්‍යාපාර පැත්ත ගැන බලනවා... ඩිල්ෂාන් ගැන දරැවන් ගැන.. මේ ගේ දොර ගැන මේ හැමදෙයක්ම හොයලා බලලා කරනවා. ඩිල්ෂානුයි මමයි දෙන්නම හිතන විදිහ ගොඩක් දුරට සමානයි. සමහර දේවල් ඩිල්ෂාන් හිතද්දී මම ඒ දේ කරලා ඉවරයි. සමහර දේවල් මම හිතද්දී ඩිල්ෂාන් ඒ දේවල් කරලා ඉවරයි.

 ඔහොම කොච්චර කිව්වත් දෙන්නෙක් අතර පුංචි පුංචි ප්‍රශ්න නැතිවෙන්න බැහැනේ?

අනිවාර්යයෙන්ම හැම පවුලකම වගේම අපි දෙන්නා අතරත් අමනාපකම්, හිත් රිදීම් ඇතිවෙනවා තමයි. එහෙම නැත්නම් ඒක පුදුමයක්නේ. අපි විවාහ වුණේ 2007 අවුද්දේ. දැන් අපේ විවාහයට අවුරැදු දහයක්. ඒක කොච්චර ලොකුද කියලා, ඒක දැන් කොච්චර වෙනස්ද කියලා අපිට දැනෙන්නේ අපේ ලොකු දූ දැක්කාමයි.

ඒ කිව්වෙ?

අපේ ලොකු දුවට දැන් වයස අවුරැදු නවයයි. මේ අවුරැදු නවයට අපිට මතක් කළොත් එයාගේ පුංචි කාලේ එයා කොච්චර නම් චුටිද. එයා දවසින් දවස ලොකු වෙද්දී එයා දවසින් දවස හිතන විදිහ සෙල්ලම් කරන විදිහ කතාකරන විදිහ වෙනස් වෙද්දී කාලය කොයිතරම් දේවල් වෙනස් කළාද කියලා අපිට හිතෙනවා. දුවලා දෙන්නයි, පුතයි මේ ගේ සතුටින් පුරවනවා.

පසුගිය කාලයේ කාර්යබහුලකමත් එක්ක ඩිල්ෂාන්ට දරැවන් එක්ක ඉන්න ලැබුණු කාලය හරි අඩුයි. අද එහෙම නෑ... එහෙම නේද?

අනේ ඔව්... ඒකනම් ඇත්ත තමයි. හැබැයි ඒ දවස්වලත් ඩිල්ෂාන් ඉඩක් ලැබෙන හැම වෙලේම එයා දරැවෝ එක්ක තමයි හිටියේ. මොනතරම් වැඩ තිබුණත් මොනතරම් ප්‍රැක්ටිස් තිබ්බත් මොනතරම් ක්‍රිකට් ගැහුවත් තාත්තා කෙනෙක් විදිහට නොපිරිහෙලා එයා දරැවන්ට තමන්ගේ යුතුකම් කරන තාත්තා කෙනෙක්. ඉස්සරට වඩා හරිම සැහැල්ලුවෙන් දැන් එයා දරැවන් එක්ක ගත කරනවා. ඉඩක් ලැබුණම අපි දරැවෝ එක්ක එළියට යනවා.

ඒ කියන්නේ තාමත් ඔය දෙන්නා සංචාරයට කැමතියි?


අම්මෝ ඔව්... අපි දෙන්නා පිටරට විතරක් නෙමේ. ලංකාව වටේම යන්නත් හරි ආසයි. අපි දෙන්නා විතරක් නෙමේ අපේ දරැවෝ තුන්දෙනත් ඇවිදින්න යන්න හරි කැමතියි. පොඩි එවුන් හරිම කැමතියි බීච් එකට.

 ගේ හරි ලස්සනයි. මේක කාගේ අදහසක්ද?

අනේ... ගේ ලස්සනයි කිව්වට බොහෝම ස්තූතියි. මේ අපි දෙන්නාගේම අදහසට අනුව හදපු ගෙයක්. ඉස්සර හදපු ගේ වුණත් ඩිල්ෂාන් ආයේ ආයෙත් වෙනස් කළා. එයාට ඕන වුණා එයාට හැමවෙලේම දුවලා පුතාව පේන විදිහට හදන්න. එයාට ලොකු වත්තක් ඕන වුණා. ඉතින් ඒ දෙවලුත් එක්ක අපි ගේ ආයෙ ආයෙත් වෙනස්කම් කළා. බඩුමුට්ටු ගනිද්දී අපි දෙන්නම කතාබහ කරලා ගන්නවා. ඩිල්ෂාන් හරි ආසයි ගේ ලස්සනට තියාගන්න.

 ඔයාලගේ වත්තෙ රත්හඳුන් පැළ තියෙනවා නේද?


අපේ වත්තේ රත්හඳුන් පැළයක් තියෙනවා. ගෙයින් එළියට බහිද්දී මුලින්ම අපි දකින්නේ අපේ කොස් ගහයි. කිරි ගහක් මුලින්ම දකින එක සුබයි කියන මතයත් තියෙනවනේ. ඩිල්ෂාන්ගේ තියෙන්නේ හරි කලාකාමී අදහස්.

 ඇත්ත කියන්න අපිට. ඔය දෙන්නගෙන් වැඩිපුරම කේන්ති යන්නේ කාටද?


අපි දෙන්නගෙන් වැඩිපුරම කේන්ති යන්නෙනම් මට. ඒත් ඇත්ත කියන්නම්කෝ. අපි දෙන්නටම කේන්ති යනවා හරිම අඩුයි. හැබැයි කේන්ති ගියොත් ටිකක් අමාරැයි. ඩිල්ෂාන්ටත් ඉඳලා හිටලා කේන්ති යනවා. මට කේන්ති ගියොත් ඔන්න ඉතින් ඩිල්ෂාන් හිනාවෙනවා. ඉතින් ඒ වෙලාවට මට තවත් කේන්තියි. ඊට පස්සේ එයා හෙමීට එතනින් යනවා. ටික වෙලාවකින් මගෙ ළඟට ඇවිත් බොරැවට කතා කරනවා. එයාගේ හිතේ මගේ කේන්තිය මට අමතකවෙලා කියලයි.

 ඩිල්ෂාන් වැඩිපුරම ආසා මොනවගේ කෑමවලටද?


අම්මෝ ඩිල්ෂාන් හරිම ආසයි ගමේ කෑම කන්න. ඉතින් ගෙදර ඉන්න දවස්වලට ඔය පලාවර්ගයක්නම් අනිවාර් ෙයන්ම හදනවා. පොලොස්, කොස්, දඹල, ඇඹරුල්ලා උයලා, දෙල් වගේ දේවල් කන්න ඩිල්ෂාන් මාරම ආසයි.

 මේ ගේ බෞද්ධ පරිසරයකට අනුව හැඩගැසුණ ගෙයක්. එහෙමද?

අනේ ඔව්... ඉස්සර ඉඳන්ම මම සරස්වතී මෑණියන්ව හරියටම ඇදහුවා. මේ ගෙදර හැම පෝයකටම බුදුන් වහන්සේට ව්‍යාංජන තිස් දෙකක බුද්ධ පූජාවක් පවත්වනවා. ඒක හදන්නේ අපේ අත්වලින්මයි. අපි බුදුන් වහන්සේට දැඩිව ගෞරව කරන දෙන්නෙක්.

 කාලයක් රංගන ශිල්පිනියක් වුණු මංජුලා අද කලාවෙන් ඈත්වෙලා. මොකද ඒ?

ඇත්ත... පහුගිය කාලවලදී බොහෝ නිර්මාණවලට මට කතාකළා. ඒත් ඩිල්ෂාන්ගේ කාර්යබහුලකමත් එක්ක මම ඒවාට වෙලාවක් වෙන්කළානම් අපිට අපේ දරැවන්ගේ කටයුතු මේ ගේදොර කටයුතු වගේම ඩිල්ෂාන්ට මගෙන් වෙන්න ඕන යුතුකම් කොටස පවා මඟ හැරෙන්න ඉඩ තිබුණා. හැම දේටම වඩා මට මගේ පවුල් ජීවිතේ වටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad