දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල 31දා විවෘත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 28, 2017

දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල 31දා විවෘත කරයි

දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහල 31දා විවෘත කරයි
ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) ලබන 31 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) නව ගොඩනැගිල්ල සදහා වියදම් වූ මුදල රුපියල් මිලියන 800 ක් පමණ වේ. මෙහි නවීන උපකරණ සහ පහසුකම් සදහා රුපියල් මිලියන 1000 ක් පමණ වැය කොට ඇති අතර, මෙම ගොඩනැගිල්ල මහල් 10 කින් සමන්විත වේ. දිනකට දහසකට අධික රෝගීන් සංඛ්‍යාවකට මෙම රෝහලෙන් ප්‍රතිකාර කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) තුල බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුඛ හණුක හා චක්ක්‍ර ශල්‍ය වෛද්‍ය අංශ 04 ක්, දන්ත සංරක්ෂණ අංශ 02 ක්, විකලාංග දන්ත සායනය, මුඛ රෝග නිවාරණ ඒකකය, ඇඳන් 32 ක් සහිත ගැහැණු හා පිරිමි වාට්ටු සංකීර්ණය, ශල්‍යාගාර 03 ක් සහිත ශල්‍යාගාර සංකීර්ණය, දැඩි සත්කාර ඒකකය (ආරම්භ කිරීමට සියළු කටයුතු සුදානම් කොට ඇත), මුඛ ව්‍යාධි අංශය, ශ්‍රී ලංකාවේ එකම එක්ස් කිරණ ඡායාරූප පහසුකම් සහිත Cone Beam CT යන්ත්‍රය සහිත පරිඝණක ගත කළ දන්ත එක්ස් කිරණ අංශය, පරිඝණක ගත කළ රෝගීන් ලියාපදිංචි කිරිම, දන්ත විකලාංග ප්‍රතිකාර සහ සංකීර්ණ දන්ත සංරක්ෂණ ප්‍රතිකාර සදහා පහසුකම් සළසන දන්ත රසායනාගාර 02 ක්  යන අංශ සහ පහසුම් වලින් යුක්තය. 

එමෙන්ම මෙම රෝහලේ මුඛ හණුක හා චක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍යවරියන්, දන්ත විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්, ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥවරියක්, මුඛ ව්‍යාදිවේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ද, දන්ත කාර්මික ශිල්පීන්, හෙදියන්, ඖෂධෙවිදීන්, විකිරණ ශිල්පීන් ඇතුලු සෙසු කාර්ය මණ්ඩල 240 කින් ද සමන්විතය. 
ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය (ශික්ෂණ රෝහල) මහල් 10 ක් සහිත දෙවන අදියරට මුල්ගල තැබීම ද මෙදිනම සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad