ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා ඊයේ(14) පැවති උත්තරීතර මණ්ඩල රැස්වීම එකඟතාවකින් තොරව අවසන්වී තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීම පක්ෂ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) රාත්‍රියේ කොළඹ එම පක්ෂ මූලස්ථානයේදී පැවති අතර ඊට මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලී මහතා සහභාගි නොවීම විශේෂත්වයකි.
ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙන තත්ත්වයකුයි නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධුරයේ තවදුරටත් හසන් අලී තබාගැනීමට සහ අලුතින් පරිපාලන ලේකම් ධුරයක් ස්ථාපිත කිරීමට උත්තරිතර මණ්ඩලයේ බහුතරයකගේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නියෝජිත සමුළුවේ දී පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරමින් මහ ලේකම් ධුරයට අමතරව අලුතින් ලේකම් ධුරයක් ඇති කිරීමට තීරණය විය.
ඒ අනුව හසන් අලී මහතා මහ ලේකම් ධුරය දරණ අතරතුර ලේකම්වරයා ලෙස මන්සූර් කාදර් මහතා පත් කරනු ලැබීය. මෙම පත් කිරීමෙන් පසුව මුස්ලිම් කොංග්‍රසය තුළ අර්බුදයක් හටගත් අතර, නව ලේකම් ධුරය සම්බන්ධයෙන් මහ ලේකම් හසන් අලී මහතාගේ විරෝධය අඛණ්ඩව පැවතුණි.
මේ අතරතුර පසුගියදා පක්ෂ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ නිසි පරිදි බලය පැවරෙන තනතුර ලේකම්ද, නැතහොත් මහ ලේකම්ද යන්න නිශ්චිතව දැනුම්දෙන ලෙසයි. අද දිනයේදී මේ පිළිබඳ තීරණය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අමාත්‍ය රවුෆ් හකීම් මහතාට දැනුම්දී තිබිණි.
ඒ අනුව අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දරුසලාම් පක්ෂ මූලස්ථානයේදී මුස්ලිම් කොංග්රස් උත්තරීතර මණ්ඩලය රැස්විය.
මෙම උත්තරීතර මණ්ඩල රැස්වීමේදී අද හෝ හෙට මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ මහලේකම් හසන් අලී මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබේ.
යම් හෙයකින් හසන් අලී මහතාගේ පාර්ශවයෙන් ඒ සඳහා සහභාගීත්වයක් නොලැබුණහොත් මෙම තනතුරු අර්බුදය පිළිබඳ ලබන වසරේ ජනවාරි 02 වනදා රැස්වන මීළඟ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයා මැතිවරණ කොමිසමට කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බවටද එහිදී තීරණය වූ බවද වාර්තාවේ.
හසන් අලි මහතා අම්පාර නින්දවූර් හි පිහිටි ඔහුගේ නිවසට මුස්ලිම් ක්‍රියාකාරීන් කැඳවා විශේෂ රැස්වීමක් පැවැත්වීම පිළිබඳව උත්තරීතර මණ්ඩල රැස්වීමේදී හසන් අලි මහතාට විරෝධය එල්ල වීතිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති පක්ෂ නියෝජිත සමුළුවේදී පක්ෂ ව්‍යවස්ථාවේ වෙනස්කම්වලට අනුව අලුතින් ලේකම්ධූරයක් ප්‍රකාශයට පත් කළ අතර එම ධූරයට මන්සූර් ඒ කාදර් මහතා නම් කෙරිණි.
මැතිවරණ කොමසාරිස්වරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා සමග ගනුදෙනු කිරීමේ බලය ලේකම්වරයාට හිමිවන බවද එහිදී ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව මහලේකම් ධූරයේ කටයුතු කළ හසන් අලි මහතාගේ බලතල කපාහැරීමක් සිදුවූ අතර ඒ හේතුවෙන් එම පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් හට ගැනුණි.
No comments:
Post a Comment