අතිපූජනීය සංඝයා වහන්ස, අන්‍ය ආගමික පූජකතුමනි, මන්ත‍්‍රීවරුනි, මිත‍්‍රවරුනි,
අලුතෙන් ජනාධිපතිවරයෙක් පත්වෙලා, යූඑන්පී එකට අගමැතිකම දීලා දැන් මාස 19 ක් වෙනවා. මුළු රට පුරාම අද තියෙන්නෙ මහ අවිනිශ්චිතතාවයක්. රටේ පරිපාලනය බිඳවැටිල, මූල්‍ය කළමණාකරණය බිඳවැටිල. කවදාවත් විරෝධතාවලට යොමු නොවුන මහා භාණ්ඩාගාරය වැනි ආයතන තුළ පවා නිළධාරීන් ඇතැම් කර්තව්‍යයන් වලින් ඉවත්වෙලා. රටට බදු ආදායම් එකතු කරන රේගුවෙත්, ආදායම් බදු දෙපාර්තමේන්තුවෙත් අසහනය. කම්කරු දෙපාර්තමේන්තුවෙ ප‍්‍රශ්න. මීට කලින් අපි දැක්කා ගොවියො මහ පාරේ. වෘත්තිකයො ලිප්ටන් වටරවුමේ. ව්‍යාපාරිකයො නගර මට්ටමින් හර්තාල් වල. හැම තැනම උද්ඝෝෂණ, විරෝධතා. ඒත් එක්කම ආණ්ඩුව දින නියමයක් නැතුව පළාත් පාලන ඡන්දය කල් දාලා.
ඡන්ද කල් දාන අතරම, විවිධ බලපෑම් කරල, රැස්වීම්වලට මිනිස්සු ඇදල, ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වලට තවම ජනතා සහයෝගය තියෙනව කියල පෙන්වන්න හදනවා. මේ ඔක්කොම කරන්නෙ ඒකාබද්ධ විපක්ෂයත් එක්ක තරඟ කරන්න. ආණ්ඩුවක් විපක්ෂයත් එක්ක ජන බලය පෙන්වන්න මේවිදියට තරඟ කරනවා, මගෙ ජීවිත කාලෙ මේ දැක්කමයි.
මම නම් මගෙ ආණ්ඩුවට ජනතා සහයෝගය තියෙනවද නැද්ද කියල උරඟා බැලුවෙ ඡන්ද පවත්වලා. මේගොල්ලො ඡන්දයක් කිව්වහම දුවනවා. මේ ළඟදී පළාත් පාලන ඡන්දය කල් දාන එකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගයට ගත්ත වෙලාවෙ ඡන්දය කල් දැමිය යුත්තේ ඇයි කියල හේතු දක්වන්න අතරමැදි පෙත්සම්කාරයො එකොළොස් දෙනෙක්ම දුවගෙන ආවා. ආණ්ඩුවෙන් හැමදාම ඇහෙන්නෙ අදෝනා විතරයි. ඡන්දයක් පවත්වන්න විදියක් නැතිලු. රටේ ආර්ථිකය ප‍්‍රපාතයකට වැටිලලු. ඒ නිසා ආණ්ඩුවට අකමැත්තෙන් වුණත් ජනතාව මත බර පටවන්න වෙලාලු. ඒ ගොල්ලන්ට වෙලා තියෙන හැම වින්නැහියකටම වගකියන්න ඕන මමලු.
මේ ආණ්ඩුවෙ නායකයන් මාධ්‍ය හරහා මගෙන් නිතරම අහන ප‍්‍රශ්ණයක් තමයි කලින් ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ඇයි කියල. මේ අය ජනතාවට ඒත්තු ගන්වන්න හදන අදහස තමයි 2015 වෙනකොට රටේ ආර්ථිකය කඩා වැටෙන බව දැනගෙන මම කළින් ජනාධිපතිවරණයක් පවත්වලා ආර්ථික අර්බුදය එළියට එන්න කලින් මගේ බලය තහවුරු කර ගන්න උත්සහ කෙරුවයි කියන එක. මේක ඒගොල්ලො හැම වේදිකාවකම කියල තමන්ගේ නොහැකියාව හංග ගන්න හදනවා. මම කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ මගේ ජ්‍යොතීශඥයන්ගේ කීම අනුව නොව, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේ උපදෙස් අනුවයි කියලත් ඒ අය කියනවා. මේ වගේ කතා අහනකොට මට හිනා.
මේ ආණ්ඩුවේ ප‍්‍රධාන නායකයො මගේ කැබිනට් මණ්ඩලයේ හිටපු වැදගත් ඇමතිවරු. රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් එනවානම් ඒක කැබිනට් මට්ටමෙන් බලය හොබවන අයගෙන් හංගන්න පුළුවන් දෙයක් නොවෙයි. කවුරුහරි කැබිනට් මණ්ඩලයේ ඉදගෙන ප‍්‍රධාන අමාත්‍යංශයකුත් පාලනය කරන අතර රටේ තිබෙන තත්ත්වය කුමක්දැයි නොදැන හිටියානම් ඒ වගේ කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ?
මම කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ අනෙක් හැම ජනාධිපතිවරයෙක්ම කලින් මැතිවරණ කැඳවපු හේතුවලටම තමයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1999 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. මම 2010 ජනාධිපතිවරණය කැඳෙව්වෙත් කලින්. 2015 ජනාධිපතිවරණය පවත්වනකොට රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් පැවතුන බව කියන එක සම්පූර්ණ බොරුවක්.
2014 අවසන් වෙනකොට අපේ ආර්ථිකය තිබුණෙ බොහෝම ශක්තිමත් තැනක. ඒ වෙනකොට අවුරුදු 05ක් තිස්සේ ආර්ථිකය 7%කට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙලා තිබුණා. අවුරුදු 03ක් තිස්සේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 130 මට්ටමක ස්ථාවරව තිබුණා. වෙන කවරදාටත් වඩා ඩොලර් මිලියන 8,200 ක විදේශ සංචිත අපිට තිබුණා. 2005 දී මම රට භාරගන්න විට විදේශ සංචිත තිබුණේ ඩොලර් මිලියන 2,200 ක් වැනි අඩු මට්ටමක. මගේ නිල කාලයේ දී, විදේශ අයෝජන දැවැන්ත ලෙස රටට ගලා ආවා. 2014 දී පමණක් ඩොලර් මිලියන 1,700ක් ආයෝජන ආවා.
මගේ පාලනයේ අවසන් අවුරුදු පහේ දී විරැකියාව ඉතිහාසයේ අඩුම ප‍්‍රතිශතය වූ 4.3% ක මටටමේ පැවතුනා. රටක ණය බරතාවය මනින්නේ, දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් හැටියට බව අපි හැමෝම දන්නවා. ඒ අනුව, 2004 දී, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවෙලා හිටපු කාලේ මේ ප‍්‍රතිශතය තිබුණේ 102% ක් වශයෙන් බව මහ බැංකු වාර්තා වලින් බලාගන්න පුලුවන්. ඒ වුනාට එම ප‍්‍රතිශතය 2014 වන විට, 70% ට අඩුකරගන්න මම සමත් වුණා. එම අගය, 1979 න් පසුව, අප රටේ තිබුණු අඩුම ණය ප‍්‍රතිශතයයි. එහෙම කරගෙන යන අතරතුර අප රටේ කිසිදාක නොසිතූ, නොදුටු, සංවර්ධනයක් මම සාර්ථකව දියත් කළ බව හැමෝම දන්නවා.
නිම කරන්න කවදාවත් බැහැයි කියපු යුද්ධය වෙනුවෙන් අවශ්‍ය සම්පත් සියල්ල වෙන් කරන්න මට පුලුවන් වුණා. රට සංවර්ධනය කරන්නටත්, රටේ සාමය හා භෞමික අඛණ්ඩතාවය රැකගන්නටත්, ජනතාවට සහන දෙන්නටත්, මට එකවරම කරන්න පුලුවන්කම තිබුණා. ඒත් එක්කම, අවුරුද්දක් පාසා, අපි අප රටේ ණය ප‍්‍රතිශතයත් අඩු කළා. බොහෝ විශ්ලේෂකයෝ මේ තත්ත්වය ගැන කියන්නේ ඒක ප‍්‍රාතිහාර්යක් කියලයි. බොහෝ දෙනෙකුට ඒ කරපු දේ අදහා ගන්නටත් බැහැ. එහෙම නම්, 2014 අවසන් වන විට මේ රට ණය උගුලක තිබුණයි කියන කතාව අමූලික බොරුවක්. ජනතාව මුලා කිරීමක්. මහ බැංකු දත්ත වලට සම්පූර්ණයෙන් ම පටහැනි කථාවක්.
අපි සංවර්ධන ව්‍යාපෘතිවලට ණය ගත්තත්, ඒ ණය ආපසු ගෙවන්න සැලසුම් කරල තිබුණෙ අසීරුතාවයක් ඇති නොවන විදියට. 2009 ඉදල 2014 දක්වා අවුරුදු 6දී අපේ විදේශීය සහ දේශීය ණය වාරික ගෙවන්නට කිසි අපහසුතාවයකින් තොරව, අපට කරන්න පුළුවන් වුණා. අපේ පාලන කාලේ, එක දවසක්වත් ණය ගෙවන්නටවත්, යටිතල පහසුකම් හදන්නටවත්, සහන දෙන්නටවත්, යුද්දේ කරන්නටවත්, රාජ්‍ය සේවයේ ඉන්න අයට පඩිනඩි ගෙවන්නටවත් අපට සල්ලි නැහැයි කියල කියනව කිසි කෙනෙකුට ඇහිල තියෙනවද? එපමණක් නොවේ, 2008 ලෝක ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. ඒ කාලෙම විශාලතම තෙල් මිල වැඩිවීමේ අර්බුදයට අපි මුහුණ දුන්නා. 2007 ලෝක ආහාර අර්බුදයට මුහුණ දුන්නා. ලෝකයේ දැවැන්තම බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අර්බුදයට මුහුණ දුන්නා. ඒ සියලුම අභියෝග මැද්දේ රටට හිතකර සියලු දෙයක්ම අපට කරන්නටත් හැකි වුණේ අපි ආර්ථිකය ඉතා දක්‍ෂ ලෙස සහ විශ්වාසනීය ලෙස කළමණාකරණය කරපු නිසා බව අද සියලු දෙනාටම ක‍්‍රම ක‍්‍රමයෙන් පැහැදිළි වනවා ඇති.
ඒ නිසා තමයි, 2014 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශක්තිමත් වර්ධන වේගයකුත්, අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ වුණත් හැඩි දැඩි ආර්ථිකයක් පවත්වාගෙන යාම ගැන අපේ ආණ්ඩුව ලිඛිතව ඇගයීමට ලක් කරල තිබුනේ.
2009 දී ලෝක ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඩොලර් මිලියන 2,900 ක ණයක් ලබා දුන්නා. එසේ එම ණය ලබා දෙන කොට, ජනතාව අපහසුතාවයට ලක්වන කිසිදු කොන්දේසියක් තිබුනේ නැහැ. නමුත්, මේ අවුරුද්දේ ජූනි මාසයේ යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,500 ක ණයක් ඉල්ලුවම, ඒකෙ පළමු කොටස ලංකාවට ලබා දුන්නේ දැඩි පූර්ව කොන්දේසි ඉටුකිරීම මතයි. අපි ගොඩනගපු ආර්ථිකය යහපාලන ආණ්ඩුව විසින් සති ගනනකින් අස්ථාවර කරපු විදිය ජාත්‍යන්තර මූල්‍ය ආයතන දැක්කා. ඒ නිසා තමයි ඒ අය ලංකාවට දැඩි කොන්දේසි දැම්මේ.
යහපාලන ආණ්ඩුව මුහුණ දෙන මේ ආර්ථික ප‍්‍රශ්ණවලට ප‍්‍රධානම හේතුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය දිනාගන්න ආණ්ඩුවේ මුදල්වලින් ඡන්ද දායකයන්ට අල්ලස් දීමයි. මේ අය හිතුවෙ කොහොම හරි ඡන්දය දිනාගන්න හැටි විතරයි. දිනුවට පස්සෙ කරන්නෙ කොහොමද කියල හිතුවෙ නැහැ. ඡන්දය දිනා ගන්න අත දිග ඇරල අනුන්ගෙ මුදල් විසි කරපු එකෙන් ආර්ථිකයේ සිද්ධීන් දාමයක් හටගත්තා. මුලින් ම වුණේ ආණ්ඩුවේ වියදම් පාලනය කර ගන්න බැරි වුණ එක. අයවැය පරතරය දැවැන්ත ලෙස වැඩි වුණා. ඒ සමගම, අඩුවෙමින් තිබුණු ණය ප‍්‍රතිශතය නැවත වැඩි වුණා. 2015 අග වන විට, ඒ ණය ප‍්‍රතිශතය 76% දක්වා වැඩි වුණා. ණය ප‍්‍රතිශතය එහෙම වැඩි වුනාට, එයට සාපේක්‍ෂව කිසිම සංවර්ධනයක් රටේ සිදු වුනේ නැති බව, සියලු දෙනාම දන්නවා.
එපමණක් නොවෙයි, මේ රජය අත දිග ඇරලා විසිකරපු මුදල් නිසා පිටරටින් භාණ්ඩ ගෙන්වීම වැඩි වුණා. ඒ සමගම, රජය මේ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කරනවා දුටු විදේශ ආයෝජකයින්, ඔවුන්ගේ සල්ලි ආයිත් රැගෙන ගියා. අලුත් ආයෝජන අවෙත් නැහැ. ඒ නිසා, රටේ බාහිර ගෙවුම් ශේෂය ඍණ වුණා. ඒකත් එක්කම රුපියලේ වටිනාකම කඩා වැටුනා. රුපියලේ වැටීම අඩු කරගන්න අපේ විදේශ සංචිත, යොදවන්න කටයුතු කළා. ඒනිසා, අපේ විදේශ සංචිත භයානක ලෙස ක්ෂය වුණා.
තවත් භයානක දෙයක් සිදු වුණා. ආණ්ඩුව වියදම් පියවගන්න වැඩියෙන් ණය ගත් නිසාත්, අගමැති රනිල් වික‍්‍රමසිංහ කොහොම හරි යටගහන්න හදන මහබැංකු බැදුම්කර මගඩිය නිසාත්, භාණ්ඩාගාර ණය ප‍්‍රතිශතයත්, මුළු රටේම පොලී අනුපාතත් සියයට හැටකින් පමණ වැඩි වුණා. එතකොට ආණ්ඩුව කලින් ගත්ත ණය වලට ගෙවන්න ඕන පොලියත් වැඩිවෙලා, ආණ්ඩුවේ ණය බරත් වැඩි වුණා. මෙන්න මේ වගේ සිද්ධි දාමයකින් තමයි අපි අද දකින අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නෙ.
මුලු ලෝකයේ ම හිත දිනාගෙන තියෙනව කියල මේ ආණ්ඩුව කිව්වත් විදේශීය ආයෝජන මොනවත් ඇවිත් නැහැ. ඒ කාලේ ආර්ථික ඝාතකයා කියල චීනයට බැන්නා. අද චීනය පස්සේ දණ ගහගෙන යනවා. මම පටන් ගත්ත දැවැන්ත සංවර්ධනය වන පෝර්ට්සිටි, හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටුපොළ දැන් හොදයි කියල කියනවා. ජනතාවට කියපු බොරු, දැන් වමාරන්න සිදු වෙලා තියෙනවා. ඒත් එක්කම, තාම ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේ මගේ ආණ්ඩුවෙන් ආරම්භ කරපු විදෙස් ආයෝජන විතරයි.
මේ අතරතුර, වැඩිවුණ ආණ්ඩුවේ වියදම් පියව ගන්නට මේ අය දිගට හරහට ණය ගන්නවා. මම මේ වගේ කතා කරන හැම අවස්ථාවකදීම කලින් වතාවට වඩා ණය බර වැඩිවෙලා තියෙනවා. ඉතිං මමත් හැමදාම ගණන් අලුත් කරනවා. පසුගිය මාස 18දී ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 2,300 ක්, ජාත්‍යන්තර බැදුම්කරවලින් ඩොලර් මිලියන 3,600 ක්, ශ‍්‍රී ලංකා සංවර්ධන බැදුම්කරවලින් ඩොලර් මිලියන 3,100 ක් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 1,500 ක් වශයෙන් ඩොලර් මිලියන 10,500 ක් ලබාගෙන තියෙනවා. එහෙම කිරීමෙන් 2016 අග වන විට, අපේ ණය බරතාව සියයට 82% ක් පමණ වෙනවා කියල විශේෂඥයින් දැන් පෙන්වා දෙනවා. මෙහිදී මතක තබාගත යුත්තේ 2014 අග වන විට එම ණය ප‍්‍රතිශතය තිබුනේ 70% ක අගයක පමණ බවයි.
දැන් යහපාලනය හරහා රට ණය උගුලක හිරවෙලා. රට මෙවැනි දැවැන්ත අර්බුදයකට පත් කරලා, දැන් ඒ අර්බුදය පසුගිය ආණ්ඩුව මත පටවන්න හදනවා. දැන් වෙලා තියෙන්නේ තමන් විසින්ම මේ ආකාරයට වැඩි කරගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ජනතාවගෙන් බදු අය කරගන්න හදන එකයි. එහෙම කරන්න IMF එකට පොරොන්දු වෙලාත් තියෙනවා. නමුත්, එසේ කරන්න හදනකොට රට පුරාම වෙළඳ ප‍්‍රජාව නැගී සිටිනවා. බඩට වැදෙන සාමාන්‍ය ජනතාව නැගී සිටිනවා. වෘත්තීය සමිති නැගී සිටිනවා. සෑම ක්‍ෂෙත‍්‍රයකම රට වැසියන් වැට් පීඩාවෙන් දුක් විදිනවා. ඒත් එක්කම, මේ වැට් ප‍්‍රයත්නය ආණ්ඩුව දැන් නැවත අලුත් කරලා. අලුත් වැට් පනතට කැබිනට් අනුමැතියත් දීලා. අපි තවදුරටත් සැලකිල්ලෙන්, සෝදිසියෙන් ඉන්න ඕනේ.
ආණ්ඩුවේ අසාර්ථක භාවය පැහැදිළි වෙනකොට මිනිස්සු ඒකාබද්ධ විපක්ෂය වටා රොක්වෙන ආකාරය අපට පෙනෙනවා. ඒත් එක්කම, ආණ්ඩුවේ ඉන්න ශ‍්‍රීලනිප කොටසට මේ අවපාලනයට වගකීමෙන් බේරිල ඉන්න බැහැ කියලා මම මතක් කරල දෙන්නත් ඕන. ඒ අය, යූඑන්පී එකත් එක්ක එකට ආණ්ඩු කරන ගමන් බොරු යූඇන්පී විරෝධයක් මවාපාන එක මහ ප්‍රෝඩාවක් බව අද ජනතාවට හොදින් වැටහිලා ඉවරයි. හවුල් ආණ්ඩුවෙ පළමුවැනි සංවත්සරය මාතර දී සමරපු අවස්ථාවේ ශ‍්‍රීලනිපයෙ වත්මන් නායකයා කිව්වා පක්ෂ දෙක අතර මේ කසාදය 2020න් පස්සෙත් පවත්වාගෙන යන්න බලනව කියල. ඊට දින කීපයකට පස්සෙ කුරුණෑගල පවත්වපු ශ‍්‍රීලනිප 65වන සංවත්සර උත්සවයේ දී ඔහුම කියනවා, 2020 දී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. තවත් දවස් කීපයකට පස්සේ, එජාපයෙ 70 වෙනි සංවත්සරයේ දී එයාම නැවතත් කියනවා මේ පක්ෂ දෙකට එකට ගමනක් යන්න පුළුවන් කියලා.
එහෙම පසුබිමක, ගිය අවුරුද්දේ ජනවාරියේ දී ආසන එකසිය පනස් ගානක් තිබුණ ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානය පසෙකට දාලා ආසන හතලිස් ගාණක් තිබුණ එජාපයට අගමැතිකම දීපු ශ‍්‍රීලනිප නායකයා, යූඑන්පී එකේ 70 වෙනි සංවත්සර උත්සවයට එනකොට, යූඑන්පී කාරයො ජයවේවා කියල කෑ ගහන එක, පුදුමයක් නොවන බව ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා ඇති. ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ටත් තේරෙනවා ඇති. ඒ වුනාට, අවාසනාවකට මෙන්, ඇමතිකම් අරගත්ත ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට නම් ඒක තේරෙන්නේ නැහැ.
ඒකාබද්ධ විපක්ෂයේ අපි, මේ හයිබ්‍රිඩ් ආණ්ඩුවට විරුද්ධයි. අලියගෙ නැට්ටෙ එල්ලිලා යන්න ගමනක් අපිට නැහැ. ඊළග මැතිවරණයට තරග කරන්න වෙනම පක්ෂයක් හදනවදැයි මගෙන් හුගදෙනෙක් අහනව. දේශපාලන පක්ෂයක් කියන්නෙ නීතිමය රාමුවක් විතරයි. වැදගත්ම කාරණය වන්නේ ආණ්ඩු විරෝධී දේශපාලන බලවේගයක් තිබෙනවාය කියන එකයි. ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ මේ අවස්ථාවේ ඇති ප‍්‍රධානම අභියෝගය තමයි දින නියමයක් නැතිව කල් දාලා තියෙන පළාත් පාලන මැතිවරණය ලබාගන්න එක. දැනට මේ සම්බන්ධයෙන් අධිකරණමය ක‍්‍රියාදාමයක් තියෙනවා. එහිදී වෙන්නෙ මොනවද කියල අපි දැන් බලාගෙන ඉන්නවා. ඒත් එක්කම යහපාලනය අනුගමනය කරනවායි කියන ආණ්ඩුවට අප බලකර සිටින්නේ තවත් බොරු හේතු දක්වන්නේ නැතිව, දැනටමත් අවුරුද්දකට වැඩිය කල් දමා ඇති මෙම පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙසයි.
ඔබ සැමට ස්තූතියි.
තෙරුවන් සරණයි.
(හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2016 සැප්තැම්බර් 15 වන දින එකාබද්ධ විපක්ෂයේ බත්තරමුල්ල කාර්යාලයේදී ‘මැතිවරණයකින් ජනමතය උරගා බැලිය යුතුය’ යන මැයෙන් පැවැත්වූ දේශනයේ පිටපත)
උපුටා ගැනීම : Lanka News Web Today
No comments:
Post a Comment