ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියෝග නොතකා ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයකු ඇතුළු පිරිසක් බණ්ඩාරගම - පානදුර මාර්ගයේ රඹුක්කන අංක 665 ඒ ග්‍රාම නිලධාරි කොටසේ කුඹුරක් ඉකුත් නිවාඩු දින තුනේදී පස් දමා ගොඩ කර ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ඉඩම ගොඩ කිරීමෙන් වළකින ලෙස 2000 අංක 46 ගොවිජන සංවර්ධන පනතේ 32 (3) වගන්තිය යටතේ මෙම ප්‍රසිද්ධ දේශපාලනඥයාගේ සහෝදරයාට පසුගිය 13 වනදා බණ්ඩාරගම ගොවිජන සේවා ප්‍රාදේශීය කාර්යාලය විසින් නියෝගයක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කුඹුරු ඉඩම් ගොඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිස් ස්ථානවලට රාජ්‍ය ආයතනවලට නියෝග කර තිබියදී, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගමන් ගන්නා ප්‍රසිද්ධ මාර්ගයක් ආසන්නයේ පිහිටි මෙම කුඹුර ගොඩ කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීහු කල කිරීමට පත් වී සිටින බවද වාර්තා වේ.
මෙම දේශපාලනඥයාගේ සහෝදරයා විසින් කුඹුරක් ගොඩ කර ඉන්ධන පිරවුම් හලක් ඉදිකර ඇතැයිද නීති විරෝධී ලෙස මෙම කුඹුර ගොඩ කිරීම පිළිබඳව හොරණ දිසා අධිකරණයේද, පානදුර මහාධිකරණයේද නඩු කීපයක් ඇතැයිද නිලධාරීහු පවසති.
නීති විරෝධී ලෙස කුඹුරු ගොඩ කිරීම පිළිබඳ මෙම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර මෙම සතිය තුළදී ගන්නා බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
No comments:
Post a Comment