වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 20, 2016

වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි

වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි

රටක් සංවර්ධනය කරා ගෙන යාමේදී දීර්ඝකාලීන සැලැස්ම විය යුත්තේ දැනුමෙන් ආදායම් උපදවන ජාතියක් ගොඩනැගීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

නව අධ්‍යාපන ක‍්‍රම, නව විශ්ව විද්‍යාල සහ විවිධ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයන් හඳුන්වාදීමෙන් රජය අපේක්ෂා කරන්නේ එම අරමුණ ජය ගැනීම බව පසුගියදා මාළඹේදී පැවති “දිරියෙන් නැගිටින දැයේ කාන්තාවන්ට අපෙන් අත්වැලක්” වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනපතිවරයා මේ බව පැවසී ය.

එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අපේ රටේ ආර්ථිකයේ ප‍්‍රධානම ව්‍යූහාත්මක බලවේගය බවට පත්ව ඇත්තේ කාන්තාවන්ගේ ශක්තිය බවයි. 

නමුත් එම දායකත්වය ලැබෙන්නේ දැනුමෙන් නොව ශ‍්‍රමයෙන් වීම රටක් වශයෙන් අප මුහුණදී තිබෙන ඛේදනීය තත්ත්වයක් බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් සහ ජාතියක් ලෙස අප ඉදිරියට යා යුත්තේ දැනුම පදනම කර ගනිමින් බව ද සඳහන් කළේය.

දැනුමෙන් සන්නද්ධ වූ ආර්ථිකයක් කරා රට ගෙන යාමේදි සියලු දේශීය කර්මාන්ත සඳහා නව තාක්ෂණ මෙවලම් හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සමාජීය වශයෙන් කාන්තාවන්ගේ, මව්වරුන්ගේ මෙන්ම දියණිවරුන්ගේ ආරක්ෂාව සහ රැකවරණයත්, සුබසාධනයත් වෙනුවෙන් රජයක් ලෙස උපරිමයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad