ඔහු ඩිලංක කවීන්ද්‍ර විජේබණ්ඩාරය. කුරුණෑගල මලියදේව විදුහලේ උසස් පෙළ 2015 ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබයි. ඔහුගේ පියා වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නියුතු ඩබ්ලිව්.එම්. අනුරුද්ධ විජේබණ්ඩාරය.
මව එම්.එම්. නයනා දර්ශනී මාපාය. මෙම දෙමහල්ලන්ට සිටි එකම දරුවා ඩිලංකය. ඩිලංක අපොස (සාපෙළ) විභාගයට පෙනී සිටියේ 2012 වසරේය. එම විභාගය උසස් පෙළ සමත් වූ ඩිලංකට මව සහ පියා අපූරු තෑග්ගක් දීමට කටයුතු කළහ. ඒ ඉතා වටිනා කැමරාවකි.
බොහෝ දෙමව්පියන් ජංගම දුරකථන වැනි එම වයසේ දරුවන්ට නොගැළපෙන තෑගි පිරිනමද්දී දුර දිග බලන මෙ මව සහ පියා දුන් තෑග්ග ඩිලංක වෙනස්ම මගකට යොමු කළේය.
ඔහු සිය කැමරාවෙන් විවිධ ඡායාරූප ගන්නට විය. ඒවා විවිධ මානවලින්, විවිධ කෝණවලින් ගත් අපූරු ඡායාරූප විය. ඒ ඉකුත් අගෝස්තු 27 වනදාය. ඔහුට උපකාරක පන්ති පවත්වන තුෂාර සර් ද නිවසට පැමිණ සිටියේය.
ඔහු සිය නිවස අවට පරිසරය මුසු වූ ඡායාරූප කිහිපයක් ගන්නට විය. මොහොතකින් පිච්චමල් සුවඳක් දැනෙන්නට විය. පිච්ච වැලක් පැත්ත පළාතක තිබුණේ නැත. එහෙත් ආශ්චර්යයකි. අතිශය මිහිරි ලෙස පිච්ච මල් සුවඳක් වහනය වෙමින් පවතී.
ඩිලංක ඒ සුවඳ විඳිමින්ම තවත් ඡායාරූප කිහිපයක් ගත්තේය. සිය මවටද කතා කර මේ අපූරු මල් සුවඳ ගැන පැවසූ මොහොතේ ඇයද පැවසුවේ තමන්ටද පිච්චමල් සුවඳ දැනුණ බවයි.
පුතා මට කතා කරන කොටත් මට පිච්ච මල් සුවඳ දැනුණා. මං නම් සිතුවේ පිච්ච මල් සුවඳ තියෙන සුවඳ විලවුන් එකක්වත් පුතා ගෙනැවිත්ද කියලා. නමුත් මේ සුවඳ විහිදෙන්නේ පුතා සිටි හරියෙන්.
එයා මෙහෙම ෆොටෝ ගත්තම ඒවා විවේකයක් ලැබුණ ගමන් කොම්පියුටරයට දාලා තමන් ගත්ත ඡායාරූප බලනවා. එදා ගත්ත ඡායාරූප ටිකත් ඒ විදියට බැලුවා. එහෙම බලන ගමන් හදිසියේම මට කතාකරලා එක ඡායාරූපයක් පෙන්නුවා.
ඒ ඡායාරූපයේ කෙළවරක අසාමාන්‍ය ආලෝකවත් ඡායාවක් තිබුණා. මට මතක් වුණ පුතා ෆොටෝ ගන්නකොට ආපු පිච්චමල් සුවඳ. යම් දිව්‍යමය හෝ වෙනත් කුසල් සහිත බලවේගයක් ආත්මයක් මේ ඡායාරූපයේ සටහන් වෙලා කියා මට හිතුණා.
ඒක මම පුතාටත් කිව්වා. හවස පුතාලගෙ අප්පච්චි ගෙදර ආවට පස්සේ එයාටත් මේ ගැන කිව්වා. අපි තුන් දෙනාම ඡායාරූපය බැලුවා. නමුත් පුතා නම් මම කී දේ එහෙමමයි කියලා එකවර පිළිගත්තේ නැහැ. පුතා දිනපතා බුදු පහන තියනවා.
පිරිත් අහනවා මේවත් එක්ක මේ සිද්ධිය වෙන්න ඇති කියලා අපට හිතුණා. පුතා මේ ඕනෑම දෙයක් ගැන දෙවරක් හිතනවා. ඒ වාගේම ඒ ගැන හොයනවා බලනවා. ඩිලංකගේ මව එසේ පැවසුවාය.
මේ ඡායාරූපයේ සිද්ධියෙන් පසු ඩිලංක දිගින් දිගටම උත්සාහ කළේ තම කැමරාවේ සටහන් වූ මෙම ඡායරූපය දිගේ තවත් කරුණු සොයන්නටය. ඒ අනුව මේ ආලෝකවත් ඡායාව මෙන්ම මියගිය ආත්මවල ඇති තවත් බලවේග පිළිබඳව සොයන්නට ඔහු පටන් ගත්තේය.
සිය පවුලේ වැඩිහිටියකු අසනීපයෙන් රෝහල්ගත කෙරුණේ මේ අතරය. ඒ කුරුණෑගල ශික්ෂණ රෝහලටය. දිනපතා එම ඥාතියා බලන්නට රෝහලට යන මව සහ පියා සමග කීපවතාවක් ඩිලංක ද රෝහලට ගියේය. යන යන තැන සිය කැමරාව රැගෙන යාම ඩිලංකගේ සිරිතය.
කුරුණෑගල ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය ඉදිරිපිට පිහිටි ගසකි. මියගිය ආත්ම මෙහෙම දර්ශනය වෙනවා නම් මේ ගහේ එහෙම ඉන්න ඕනෑ. එහෙම සිතූ ඩිලංක එම ගසේ ඡායාරූප කිහිපයක් සිය කැමරාවෙන් ගත්තත් එහි එවැනි ඡායාවක් හෝ දක්නට නොලැබිණි.
මෝචරිය ළඟදී රෑ 12.00ට ගන්න ඕනෑ ෆොටෝ එකක්. එසේ සිතූ ඩිලංක තම අදහස පියාට පැවසීය. රෑ 12.00ට මිනී කාමරය ළඟට සිය එකම දරුවා රැගෙන යන්නට හිත හදාගන්නට ඩිලංකගේ පියාට බැරිවිය. ඒ නිසා ඔහු එම ඉල්ලීම ඉටු කිරීම කල් දමමින් සිටියේය.
රෑ 12.00ට ෆොටෝ ගන්න මෝචරියට යමු කියලා පුතා මට කීපවරක් යෝජනා කළා. මම ඒ යෝජනාව බැහැර කළේ නැහැ එකපාරටම. නමුත් කල් දමමින් සිටියාය. දරුවා මේ ගමනට එක්ක යන එක ගැන නැවත නැවත හිතුවා.
මේ අතර තමයි ඩිලංකගේ මවගේ බාප්පලගෙ ගෙදර පිරිතක් තිබුණේ. ඒ බාප්පලාගේ ගෙදර තිබුණෙත් කුරුණෑගල දොරටියාව කෝන්පොළ. අපි රෑ පිරිත් අහලා අපේ ගෙදර එන්න පිටත් වුණා. අපි ආවේ අපේ වාහනේ. මායි නෝනයි පුතයි අපි තුන්දෙනා පිරිත් ගෙදරින් පිටත් වෙනකොට රෑ 12.00ට ආසන්න වෙලා.
එහෙ ඉඳල එන පාර අයිනේ තමයි දොරටියාව දියබාව කනත්ත තියෙන්නේ. කනත්ත ළඟදී පුතා එකපාරටම වාහනය නවත්වන්න කිව්වා. ඒ මොකටද කියලා අහපුවාම අප්පච්චි මෝචරියේදී ගන්න හිටපු ෆොටෝ එක අද මෙතැනදී ගම්මු කියලා කිව්වා. නමුත් මා දරුවාට එතැනදී වාහනයෙන් බහින්න ඉඩ දුන්නේ නැහැ.
ටිකක් වේගය අඩුවෙන කොටම මේ ළමයා ඡායාරූප කිහිපයක් අරන්. ඩිලංක නිවසට පැමිණ නිදාගත්තේ පසුදින පාසල් ගොස් පැමිණ සිය පරිගණකය ඉදිරියේ වාඩි වූයේ පෙරදා ගත් ඡායාරූප පිරික්සා බලන්නටය. එතකොට වෙලාව දහවල් 1.30ට 2ට විතර ඇති.
මං මගේ පරිගණකයට ඡායාරූප ටික දමලා ඒවා බලමින් සිටියා. ඒ අතර දියබාවේ කනත්තේදී ගත්ත ඡායාරූපත් තිබුණා. මෙහෙම බල බලා ඉන්න කොට එක ඡායරූපයක තිබුණ රූපය දැකලා මට හරියට බය හිතුණා. ඒ ඡායාරූපයේ සුදු පැහැති අයකුගේ රුපය ඉතා පැහැදිලි ලෙස සටහන් වෙලා තිබුණා.
මම හයියෙන් කෑ ගහලා අම්මාට කතා කළා. අම්මා ඒක බලන්න හදපුවාම ඒක බලන්න එපා කියලා මං කිව්වේ ඒ වෙලාවේ මට දැනුන බය නිසා. නමුත් පස්සේ අම්මාට ඒ ඡායාරූපය පෙන්නුවා. අප්පච්චි ගෙදර ආවට පස්සේ අප්පච්චිටත් පෙන්නුවා. මේ වෙද්දී මගේ සිතේ යම් චකිතයක් බියක් වාගේ දෙයක් දැනෙමින් තිබුණා.
පස්සේ අම්මයි අප්පච්චියි මාව පන්සලට එක්ක ගිහින් ඉස්කෝලේ හාමුදුරුවන්ට මේ සිද්ධිය කිව්වා. උන්වහන්සේ මට පිරිත් කියලා පිරිත් නූල් බැන්දා. පැයක් විතර එහෙම පිරිත් කිව්වා. ඒකෙන් මගේ හිතේ තිබුණ බිය චකිතය නැතිවුණා.
මට ලොකු ඕනෑකමක් තිබුණා මේ ඡායාරූප හරහා යම් පර්යේෂණයක් විමසීමක් කරන්න. මියගියාට පස්සේ අපි හොඳ කළොත් හොඳ ලෝකවලත් නරක කළොත් නරක ලෝකවලත් ඉපදෙනවා කියලා මම අහලා තියෙනවා එහෙම මියගියාට පස්සේ නැවත ඉපදීම වෙනවද කියලා හොයන්න මේ ඡායාරූප මගින් යම් විමසුමක් පරීක්ෂණයක් කරන්න පුළුවන් කියලා මට හිතුණා.
මේ ඡායාරූප දෙකෙන් විතරක් මා ඒක පිළිගන්නේ නැහැ. තවදුරටත් මේ ගැන සොයනවා. මගේ විෂය බාහිර විනෝදාංශය තමයි මේ ඡායරූප ගැනීම. උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හදාරන පුංචි ඩිලංක අන් බොහෝ දරුවන් සිතන විමසන කරුණු කාරණාවලින් බැහැරව කරගෙන යන මෙම පර්යේෂණ පිළිබඳව තම අදහස් දැක්වූයේ එසේය.
ඩිලංක පුතාට පිරිත් දේශනා කරමින් එම දරුවාගේ සිත තුළ තිබූ බිය සහ චකිතය ඉවත් කරන්නට කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල දඹුල්ල පාර සාරානාත් විහාරාධිපති කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලයේ ආචාර්ය පූජ්‍යපාද උත්තලවත්තේ විමලානන්ද හිමියන්ය.
මේ සිද්ධියට අදාළ දරුවා අම්මයි තාත්තයි එක්ක අපේ පන්සලට ආවා. මාත් මේ ඡායාරූපය බැලුවා. ඒ ඡායාරූපය අරන් තියෙන්නේ 2013 නොවැම්බර් මාසේ 19 දා රාත්‍රී 12 පසුවී මිනිත්තු 05ට කියලා සඳහන් වෙලා තිබුණා. ඒ කියන්නේ 18 වනදා රාත්‍රී 12 පසු වුණා විතරයි. කොහොම වෙතත් එදා දහවල් මේ ඡායාරූප බලපු මේ දරුවගේ සිත මඳක් ගැස්සිලා තිබුණා.
පසුව මා පැයක පමණ කාලයක් තුන් සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කරලා පිරිත් නූලක් බැන්දා. ඒකෙන් පස්සේ ඒ දරුවගේ හිත සන්සුන් වුණා. මේ සිදුවීමෙන් අපට නොපෙනෙන ලෝකයක් ඇති බව පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් කරුණු පිරික්සීම සුදුසු බවයි මගේ හැඟීම.
මේ පිළිබඳ ඇල්මක් දක්වන මේ පිළිබඳ අවබෝධයක් ඇති අය යම් සංවාදයකට එළඹීම සඳහා මෙය ආරම්භයක් කරගෙන තවදුරටත් කරුණු ගවේෂණය කළොත් හොඳයි.
බුදු දහම තුළ එයට ඉඩ තියෙනවා. ඒ බුදු දහම අපට ලබාදී ඇති සිතීම සහ විමසීමේ නිදහස ප්‍රයෝජනයට ගනිමින්. ඩිලංක පුතා ආගමට දහමට ලැදි බෝසත් දරුවෙකි. ඔහු සිප් සතර හදාරන කුරුණෑගල මලියදේව විදුහල සහ දහම් අධ්‍යාපනය ලැබූ කුරුණෑගල වජිරාරාම දහම් පාසල එම ආගමික නැඹුරුවට හේතුව බව ඩිලංකගේ දෙමාපියෝ පවසති.
කුරුණෑගල මලියදේව විදුහල සිසු දරුවන් ආගමික, ආධ්‍යාත්මික පෝෂණය සඳහා යොමු කරන පාසලක්. පාසලේ නිතර නිතර පින්කම් ධර්ම දේශනා සහ ධර්ම සංවාද සහ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ වාගේම දහම් පාසල ඉතා විධිමත් නිවැරදි දහම් අධ්‍යාපනයක් ලබා දෙන දහම් පාසලක්.
මේ නැඹුරුව නිසා පුතා නිතර නිතර රූපවාහිනියේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදිය ශ්‍රවණය කරනවා. දහම් පොතපත කියවා ඒ පිළිබඳව විමසනවා. කරුණු සොයනවා. එහි එක් අවස්ථාවක් ලෙසයි අප දකින්නේ.
බොහෝ කාලයක සිට ‘රිවිර’ ‘රිවිරිසි’ පුවත්පත් හරහා දෙව්සිත් පැහැදෙන පුදපූජා ලිපි මාලාව තුළින් එම පාඨක භවතුන් දැනුවත් කරන කුරුණෑගල වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන (කොළඹගේ පොඩි හාමුදුරුවෝ) ස්වාමීන් වහන්සේගෙන්ද මේ පිළිබඳව අපි විමසීමක් කළෙමු.
මා නිතර අපේ පින්වත් පාඨක භවතුන්ට අවධාරණය කරන දෙයක් තමයි අපට නොපෙනෙන බලවේග තියෙන බව. ඒවා පින් ඇති විවිධ බලවේග වෙන්න පුළුවන්. ඒ වාගේම පහත් පෙළේ විවිධ බලවේග වෙන්නත් පුළුවන්. මා මේ මෑතකදී ලිපියකින් අවධාරණය කළා පින් ඇති විවිධ දිව්‍යමය බලවේග තම නියමිත ස්වරූපයෙන්ම පෙනී නොසිටින බව.
ඒක ඩිලංක පුතා ගත්ත පළමු ඡායාරූපයෙන් සනාථ වෙනවා. ඒ වාගේම ඒ පුතා ගත්ත දෙවන ඡායාරූපයේ ඉන්නේ පහත් පෙළේ භූත බලවේගයක් බව පැහැදිලියි. ඒ ඡායරූපය මේ පුතා අරන් තියෙන්නේ සුසාන භූමියකදී. රාත්‍රී 12.00 පසු වුණාට පසු. මරණින් පසු අප ඉපදෙන ලෝක ඇති බව බුදු දහමේ දැක්වෙනවා.
මේ දරුවා කරලා තියෙන්නේ හොඳ පර්යේෂණයක්. මින් පැහැදිලි වෙනවා අප මේ ලෝකයේදී කරන හොඳ සහ නරක මත ඊළඟ ආත්මයේදී අප උත්පත්තිය ලබන බව. මේ වාගේ දේවලින් අපට නැවත හිතන්න මග පෙන්වනවා. අපි අපේ ජීවිත ධාර්මිකව ගොඩ නගා ගනිමින් නිතර කුසල් කරමින් දිවි ගෙව්වොත් අපේ මරණින් මතු ජීවිතය යහපත් වෙන බව මෙයින් සනාථ වෙනවා.
තරුණ බෝසත් දරුවන් රට පුරා දකින්න ලැබිම සතුටට කරුණක්. මරණින් මතු ලෝකය පිළිබඳව තවදුරටත් ගවේෂණයට මං පාදන මෙම ඡායාරූප දෙක හරහා යම් සංවාදයකට එළඹීම සුදුසු බව අපගේ හැඟීමයි. මේ පිළිබඳ විවිධ විද්වත් මත විමසුමකටත් ඒ හරහා සංවාදයක නිරත වීමටත් ‘රිවිර’ පාඨක ඔබට අපි ඇරයුම් කරන්නෙමු.
සුනිල් පොරමඬල
ඡායාරූප – ඩිලංක කවීන්ද්‍ර විජේබණ්ඩාර
(රිවිර)
No comments:
Post a Comment