මේ ආණ්ඩුව හැදුවෙම බොරු බිල්ලො මවලා... දැන් බදූර්දීන් හිරේ දාලා පාක්ෂිකයින්ට චූන් එකක් දෙන්න යන්නෙ - මුජිබර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 15, 2020

මේ ආණ්ඩුව හැදුවෙම බොරු බිල්ලො මවලා... දැන් බදූර්දීන් හිරේ දාලා පාක්ෂිකයින්ට චූන් එකක් දෙන්න යන්නෙ - මුජිබර්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව නිර්මාණය කරගත්තේම බොරුවෙන් බිල්ලන් මවා දකුණේ ජනතාව බිය වැද්දීමෙන් බවත් දැන් ඔවුන් රිෂාඩ් බදූර්දීන් මහතාව හිරේ දමා ආණ්ඩු පාක්ෂිකයින්ට චූන් එකක් ලබාදීමට උත්සාහ කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. 

"මේක ඉතාම පැහැදිලියි දේශපාලන පළිගැනීමක් කියන්න මොකක්වත් ඕනෙ නෑ. මොකද යුද්ධ කාලෙ උතුරෙන් පළවාහැරපු විශාල ජනතාවක් ජීවත් වෙනවා පුත්තලම ප්‍රදේශයේ. තාම ඒ ජනතාව එහෙ ජීවත් වෙනවා ඔවුන්ව තාම නැවත පදිංචිකරලා නෑ. ඒ හින්දා ඒ ජනතාව හැම වතාවකම ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රථම වාසස්ථානයට යන්න ඕනෙ. හැම මැතිවරණයකදීම ඔවුන්ට ඔවුන්ගේ මුල් වාසස්ථානයට යන්න රජය විසින් සපයනවා ප්‍රවාහන පහසුකම්. ඒක 2019දිත් වුණා. 2015දිත් වුණා. හැම මැතිවරණයකදීම සිද්ධ වුණා. 

එතකොට 2019දි වුණේ බස් රථ 250ක් පමණ සපයලා දීලා තියෙනවා 250කට පමණ ඡන්දදායකයින්ට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරන්න. ඒ බස් 250ට මුදල් ගෙවලා තියෙන්නෙ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව යටතේ තියෙන නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතිය මගින්. ඒ මුදල් ගෙව්වෙත් වෙන කාටවත් නෙවෙයි ගමනාගමන මණ්ඩලයට. ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයකට ගෙවලා තියෙන්නෙ. අරගෙන තියෙන්නෙ රජයේ බස් රථ. 

එතකොට බස් රථවලට ගෙවපු මුදල දවස් 6ක් ඇතුළත නැවත වතාවක් උතුරේ සරණාගතයින්ගේ සංවිධානයක් මගින් අමාත්‍යාංශයට නැවතත් ඒ වියදම් කරපු මුදල් ප්‍රමාණය ගෙවලා තියෙනවා. ඒක තමයි මේ සිදුවීම. දැන් ආණ්ඩුව කියනවා මේකෙන් මුදල් අවභාවිතා කළයි කියලා, මොහුව අත් අඩංගුවට ගන්න කියලා නීතිපතිතුමා නියෝග නිකුත් කරලා තිබෙනවා. උසාවියට ගිහිලා නියෝගයක් ගන්න හැදුවා, ඒක මහේස්ත්‍රාත්තුමා ප්‍රතික්ෂේප කළා, ඊළඟට නීතිපතිතුමා කියනවා අත් අඩංගුවට ගන්න කියලා. 

මේකෙ පැහැදිලි ප්‍රධාන කාරණාවක් තිබෙනවා. මේ මිනිස්සු 2019ට කලින් ඡන්දය පාවිච්චි කරන්න අරගෙන ගියානෙ මන්නාරමට. වව්නියාවට. එතකොට ඒ බස් රථ කොහොමද ගියෙ ? කවුද මුදල් ගෙව්වෙ ? ඒවා නොමිලේ ගියාද ? ඒවත් මුදල් අරගෙනද ගියේ ? එතකොට ඒ කාලෙ ඇයි කවුරුවත් මුදල් අවභාවිතා කළා කියලා කතා කළේ නැත්තෙ ? මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ආණ්ඩුව 2015 වෙනකල් තිබුණානෙ. ඒ ආණ්ඩු කාලෙ ඇතුළෙ මේ පුත්තලමේ ජනතාව මන්නාරමට ගිහිල්ලා ඡන්දෙ දැම්මෙ නැද්ද ? එදා නිශ්ශබ්දව හිටියා. 

අද අපට පේනවා පැහැදිලිවම දේශපාලන දඩයම් පටන් අරගෙන තිබෙනවා. මේක පටන් ගත්තෙ රාජිත සේනාරත්න මැතිතුමාගෙන්, චම්පික රණවක මැතිතුමාගෙන්. දැන් රිෂාඩ් බදූර්දීන් මැතිතුමාටත් මේ දේශපාලන දඩයම පටන් අරන්. 

මේ ආණ්ඩුවට මොකක් හරි හේතුවක් පෙන්නලා අත් අඩංගුවට ගන්න ඕනෙ වෙලා තියෙනවා. මොකද පහුගිය කාලෙ ලොකූ බිල්ලො මැව්වානෙ. බිල්ලො මවලානෙ මේ ආණ්ඩුව හැදුවෙ. නැති දේවල් මවලා, දකුණේ මිනිස්සු බය කරලා, මිනිස්සුන්ගෙ ඇස් නිලංකාර කරලානෙ ආණ්ඩුව හැදුවෙ. ආණ්ඩුව හැදුවාට පස්සෙ ඒ මිනිස්සු සන්තෝස කරන්නත් ආණ්ඩුව මොකක් හරි කරන්න එපැයි. ඒකට තමයි බොරු චෝදනා ඇති කරලා අත් අඩංගුවට අරන් පොඩි චූන් එකක් ගන්න හදනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (14) සමගි ජන බලවේගය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.  


No comments:

Post a Comment

Post Bottom Ad