හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම තවදුරටත් කල් යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 10, 2020

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම තවදුරටත් කල් යයි


පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා විශ්‍රාමික පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 27 වනදා දක්වා යළි කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා


මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතව තිබුණා.


 මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඇතැම් පාර්ශවයන් මේ වන විට වෙනස් වී  ඇති හෙයින් ඒ සඳහා නව ආදේශ කිරීම් සිදුකළ යුතු බව  අධිකරණය මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දුන්නා.


කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ තම සේවාදායකයා අනිවාර්ය නිවාඩු යැවීම තීරණය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සහ  වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමේ තීරණය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සිය පෙත්සම් වලින් කර තිබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වීමට අපේක්ෂා නොකරන බවයි.


සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම ජනවාරි මස 27 වනදා සිදු කිරීමට තීන්දු කළේ. 


පෙත්සම ඉදිරිපත් කරන විශ්‍රාමික පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා තිබෙන්නේ පාස්කු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත් බවයි. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට කිසිදු බලයක් නොමැති බව පෙන්වා දුන් පූජිත් ජයසුන්දර මහතා මේ තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවටයි කියා සිටින්නේ.


ඒ අනුව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය තුළින් ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ප්‍රකාශය කරන ලෙසයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad