කවදාවත් ඒ ගැන හිතලා නෑ - අවුරුදු අටේදී ගී කියන්න ආ උරේශා උරේෂා රවිහාරි කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 27, 2020

කවදාවත් ඒ ගැන හිතලා නෑ - අවුරුදු අටේදී ගී කියන්න ආ උරේශා උරේෂා රවිහාරි කියන කතාව

රඟපාන්න ආරාධනා ලැබුණා. 
නමුත් මට හිතුනා මේක තමයි මට සුදුසුම දේ කියලා
පත්තරවල දුරකථන අංකය ගියාම කෝල්ස් එනවා හරියට

ගායක ගායිකාවන් කොපමණ බිහිවුණත් රිදී තිරයට උචිත හඬ සහිත, ”ස්ක‍්‍රීන් වොයිස්’’ සහිත ගායක ගායිකාවන් බිහිවන්නේ දුලබවය. විටෙක රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රුවට, රංගනයට ඔබින හඬක් සොයා ගැනීම අතිශය අසීරු කාර්යයකි. විජය කුමාරතුංග නම් අසහාය රංගන ශිල්පියාට රිදී තිරයේ ගී ගැයුවේ එච්.ආර්. ජෝතිපාල නමැති අසහාය ගායකයාය. එහෙත් ජෝතිගේ වියෝවෙන් පසු විජයගේ රුවට ගැලපෙන හ`ඩ සහිත ගායකයන් විරල වූ නිසා විජය වෙනුවෙන් ගී ගයන්නට ඇතැම් අවස්ථාවලදී විජයටම සිදුවිය. ඒ රිදී තිරයට ඔබින හඬ එතරම්ම දුර්ලභ නිසාවෙනි. එවන් දුර්ලභ වාසනාවකට හිමිකම් කියන්නියක් අද මීවිත සුන්දර 90’ කතා බහ සමග. ඇය උරේෂා රවිහාරි.....
”රහසිගත සුසුමක්’’ ?

අලූත්ම ගීතය. මගේ ලොකු හීනයක් තිබුණා දයා ද අල්විස් මහත්මියට කියලා ගීතයක් ලියව ගන්න. ඉතිං කාලෙකට පස්සේ මං කියලා ලියව ගත්ත ගීතයක් මේක. සංගීතය සුරේෂ් මාලියද්ද. මෙතෙක් ගායනා කළ ගීතවලට වඩා හාත්පසින්ම වෙනස්. ‘‘රහසිගත සුසුමක්’’ මැයි මාසයේදී රූප රචනාවක් කරලා එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඊට අමතරව ප‍්‍රසංගවලට

සහභාගී වෙනවා සහ අලූත් චිත‍්‍රපට තුනක ගීත ගායනා කරනවා.

දැන් ගීත කීයක් විතර ගායනා කරලා ඇත්ද?

කවදාවත් ඒ ගැන හිතලා නෑ. හැබැයි සෑහෙන ප‍්‍රමාණයක් ඇති. මොකද චිත‍්‍රපට එකසිය ගාණකට මේ වෙද්දී මං ගීත ගායනා කරලා තියෙනවා. චිත‍්‍රපට, ටෙලි නාට්‍ය, සංයුක්ත තැටි ඔක්කොම ගත්තම සෑහෙන ප‍්‍රමාණයක් ඇති. චිත‍්‍රපට ගීත නං ඔක්කොම වගේ ජනප‍්‍රිය වුණා. ගයපු ගීතවලින් හතරෙන් තුනක් විතර ජනප‍්‍රිය වුණා. සමහර ගීත මිනිස්සුන්ට ඇහිලා නෑ. ඒ නොඇසුණු ගීත මගේම යූ ටියුබ් චැනල් එකකින් ජනගත කරන්නයි අදහස.


පළවැනි ගීත පටිගත කිරීම මතකද?

මුලින්ම අවුරුදු අටේදී තමයි චිත‍්‍රපටයක ගීතයක් ගයන්න මං සම්බන්ධ වෙන්නේ. එතකොට මං සංගීතය හැදෑරුවේ සුජාතා අත්තනායක මහත්මිය ළඟ. ඇය තමයි මාව ශක්තිය ඔබයි අම්මේ චිත‍්‍රපටයේ ගීතයක පුංචි කොටසක් ගයන්න එක්කං යන්නේ. පොඩි පුතු ඉපදුනු දිනයේ කියන ඒ ගීතය ගායනා කළේ සුජාතා අත්තනායක මහත්මිය සහ ටෝනි හසන් මහත්මයා. ඒ දෙන්න ගී ගැයුව චරිතවල ළමයාගේ උපන් දිනය දවසේ ගයන ගීතය. ඉතිං ඒ දෙන්නගේ පුතා පේලි හතරක් ගයනවා මේ ගීතයේ. ඒකට තමයි මාව එක්කං ගියේ. මං මුලින්ම පටිගත කිරීමක් කියලා කළෙත් චිත‍්‍රපට පසුබිම් ගායනයක්. ඉන් පස්සේ මං චිත‍්‍රපටවල ගීත ගායනා කරලා තියෙනවා ළමා ගායිකාවක් විදිහට. දැනුත් ගායිකාවක් විදිහට කතා කරද්දී මාව විශේෂීකරණය කරන්නෙ චිත‍්‍රපට පසුබිම් ගායිකාවක් විදිහටනේ. අනෙක් ගීතත් ගායනා කලත් චිත‍්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට තමයි මාව හුඟක්ම ලේබල් වෙලා තියෙන්නේ. මං ඒකට තමයි ආසත්. මොකද චිත‍්‍රපටවලට උචිත හඬක් පිහිටන එකත් වාසනාවක් කියලා තමයි මං හිතන්නේ. තිර කට හඬක් හැමෝටම පිහිටන්නේ නැහැ. මගේ වාසනාවට මුලින්ම චිත‍්‍රපට පසුබිම් ගායනයකට එක්වෙන්න ලැබුණු නිසා මං ආස වුණෙත් චිත‍්‍රපට පසුබිම් ගායිකාවක් වෙන්න. මට පිහිටලා තිබුණෙත් එවැනි හඬක්. ඉතිං ඒක දෛවෝපගත සිද්ධියක් වෙන්නැති කියලා මට හිතෙනවා.

නමුත් ඔබ වඩාත් ප‍්‍රසිද්ධ සහ ජනප‍්‍රිය වුණේ ”උන්නා එක ගංගාවක ගීතයෙන්’’......

මගේ තාත්තා නිෂ්පාදනය කළා මල්සර දෝනි කියන චිත‍්‍රපටය. ඒකට තමයි මේ ගීතය අයත් වුණේ. එකේදී මට රඟපෑමෙනුත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ගොඩක් අය හිතන්නේ මං මුලින්ම ගායනා කළේ උන්නා එක ගංගාවක ගීතය කියලා. මේ ගීතය ගයද්දී අවුරුදු 11 ක් විතර ඇති. මුල්ම චිත‍්‍රපට ගීතය ගායනා කළාට පස්සේ අම්මයි තාත්තයි මගේ කැසට් කිහිපයක් නිෂ්පාදනය කළා. පේ‍්‍රම් කරෝ කැසට් එක සම්පූර්ණයෙන්ම හින්දි ගීත. අම්මා නිෂ්පාදනය කළ මගේ සුරතල් නංගි කැසට් එකට මායි මල්ලියි ගීත ගායනා කළා. පළමුවෙනි ප‍්‍රසංගයට අවුරුදු දහයෙන් හෝ නවයෙන් තමයි මං වේදිකාවකට නැග්ගේ. සන්ෆ්ලවර් සංගීතය සපයපු මීගමුවේ සංගීත ප‍්‍රසංගයක්. මට මතකයි තාත්ති මාව උස්සගෙන ගිහිං වේදිකාවෙන් තිබ්බේ. එදා මුදලක් ලැබුණා කියලා මතකයි. මුලින්ම චිත‍්‍රපට ගීතය ගායනා කරපු දවසේ මට ලොකු චොක්ලට් එකක් ලැබුණා. පළමුවෙනි චිත‍්‍රපටයෙන් පස්සේ චිත‍්‍රපට ගීත ගායනා කරද්දී මට මුදල් හම්බුණා. රු.500 ක් හෝ දාහට අඩු ගණන් තමයි ඉතිං. මං ඒ සල්ලි එකතුකරා. අම්මිට දුන්නා අරං තියන්න.

සුන්දර 90 ගැන මොකද හිතෙන්නේ?

උන්නා එක ගංගාවක ගීතයත් එක්ක තමයි ගොඩක් දෙනක් මාව උරේෂා රවිහාරි කියන නමෙන් අඳුන ගන්නේ. 90 වගේ ඉඳන් ගොඩක් ජනප‍්‍රිය වුණා. මට කියලා අනන්‍යතාවයක් ගොඩනැගෙන්නේ මේ ගීතයත් එක්ක. එදා වගේම මිනිස්සුන් ගේ ආදරය මට අදත් ලැබෙනවා. අද එදා තරම් චිත‍්‍රපට බලන්න නොගියට චිත‍්‍රපට ගීත ජනප‍්‍රිය වෙනවා.

කොහොමද මේ හැමදේම කළමනාකරණය කරගත්තේ?

මේ හැමදේම කළමනාකරණය කරලා දුන්නේ අම්මයි තාත්තයි. මං විවාහ වෙනකන්ම මගේ පස්සෙන්ම හිටියේ ඒ දෙන්නා. සමහර වෙලාවට මේ වැඩ මට වදයක් වෙච්ච වෙලාවලූත් තිබුණා. පටිගත කිරීම්, ප‍්‍රසංග වැඩිවෙනකොට නොරුස්සන හැඟීමක් ආව වෙලාවලූත් තියෙනවා. මං

නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ මුලින්ම ඉගෙනගත්තේ. පස්සේ

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ගියා. වාණිජ අංශයෙන් උසස් පෙළ කළා සංගීතයත් එක්ක.

වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ කළේ?

මං බැංකු ක්ෂේත‍්‍රයට ගොඩක් ආසා කළා. ඒ වෙද්දී මගේ තීරණයක් තිබුණේ නෑ වෘත්තීය ගායිකාවක් වෙන්න ඕන කියලා. හැබැයි මට හැම තිස්සෙම අවස්ථාව ලැබුණේ ගායිකාවක් විදිහට. එනිසා මං පසුව තීරණය කළා මේක තමයි මං යන්න ඕන පාර කියලා. මට ඉබේම හිතුනා මගේ රැුකියාව විදිහට මං තෝරා ගන්න ඕන සංගීතය කියලා.

ඒ කාලේ ලැබුණු ප‍්‍රතිචාර?

ලියුම් හරියට. මං ඒ ලියුම් බලනවා අඩුයි. අම්මි තමයි බලන්නේ. අම්මි බලල මට සුදුසු ඒවා විතරයි දෙන්නේ බලන්න. අනිත් එක ඒ කාලේ ලෑන්ඞ් ෆෝන් එක තිබුණේ. පත්තරවල දුරකථන අංකය ගියාම කෝල්ස් එනවා හරියට. තරුණයෝ කතා කරනවා. ඒ කතා කරද්දීත් නිකං ආදරය වගේ මාතෘකා එද්දී මං ෆෝන් එක අම්මිට දෙනවා. මොකද අම්මිගෙයි මගෙයි කටහඬ එක වගේ. අදටත් අම්මිගෙයි මගෙයි කටහඬ ෆෝන් එකෙන් අඳුරගන්න ගොඩක් අයට බැහැ. මගේ මල්ලිට පවා වැරදිලා මට අම්මි කියන වෙලාවල්, අම්මිට අක්කි කියන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මං වගේ අම්මි කතා කරපු වෙලාවල් තියෙනවා.

මල්ලිත් එක්ක ගීතයක් ගයන්න

අදහසක් නැද්ද?

එයත් පොඩි කාලේ සංගීතය ඉගෙන ගත්තා. හොඳ හැකියාවක් තියෙනවා. සංගීත ක්ෂේත‍්‍රයට තමයි ආසා වුණේ. ඒත් මගේ දෙමව්පියන් කැමති වුණේ නැහැ අපි දෙන්නම කලාකරුවන් වෙනවට. මොකද සාමාන්‍යයෙන් අදහසක් තියෙනවනේ කලාකරුවන් ස්ථාවර නෑ කියලා. කාලගුණ ප‍්‍රශ්න, යුද්ධය තිබ්බ කාලේ ප‍්‍රසංග නෑ. ඉතිං ස්ථිර රැුකියාවක් පිරිමියෙක් කරන්න ඔන කියලා දෙමව්පියෝ කිව්වා. ඉගනීම පැත්තෙන් වෙන ක්‍ෂේත‍්‍රයකට මල්ලිව යොමු කරන්න තමයි එයාලට ඕනවුණේ. ඒක නිසා අකමැත්තෙන් එයා වෙන ක්‍ෂේත‍්‍රයකට යොමු වුණා. මල්ලි දැන් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිවෙලා ඉන්නේ. පරිගණක අංශයේ රැුකියාවක් කරනවා. දැනටත් සංගීතයට හරිම ආසයි. අදටත් එයා කියනවා අපරාදෙ අම්මියි තාත්තයි මට ගායකයෙක් වෙන්න දුන්නේ නෑනේ කියලා. එයාගේ ආසාවට තනි සිංදු කීපයක් එයා කළා. හැබැයි ඒවා අපි අතර විතරයි.

ගෙදර විස්තර?

මගේ සැමියා රුචිර නදීර. ඔහු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක්. ත‍්‍රිකුණාමලය රෝහලේ තමයි දැනට සේවය කරන්නේ. සසෙන් ප‍්‍රවිවේක් පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ දැන්. ගායනා කිරීමේ හොඳම හොඳ හැකියාවක් පුතාට තියෙනවා. මගේ හඬ ඕනෑම තැනක හඬවල් සීයක් එක්ක වුණත් එයාට අඳුන ගන්න පුළුවන්. රේඩියෝ එකේ මගේ ගීතයක් ගියොත් එයා කියනවා අම්මිගේ සින්දුවක් යනවා කියලා. මං වෙන කෙනෙක් ගේ ගීතයක් යද්දී මගේ ගීතයක් යනවා කියලා කිව්වොත් එයා කියනවා මාව රවට්ටන්න එන්න එපා, මං දන්නවා ඔයා ගේ කට හඬ කියලා.

රසික ප‍්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

විදෙස් ප‍්‍රසංගවලට මං හරිම ආසයි. මොකද හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙනවා ඔවුන්ගෙන්. හොඳ ගීත අහන්න පුරුදු වෙච්ච පිරිසක් ඉන්නවා රටවල. මෙහෙ රසවින්දනය වෙනස් වෙනවනේ. නමුත් එහෙ ඉන්නේ සුභාවිත ගීතයට ආදරය කරන හොඳ ගීතය ඉදිරියට ගෙනියන්න දායක වෙන පිරිසක්. 70,80,90 අපේ සංගීතයේ ස්වර්ණමය යුගය කියලා මට හිතෙනවා. ඉන්පස්සේ නරකයි කියනවා නෙමෙයි. නමුත් පවතින ගීත ඉන් පස්සේ ආවේ හරි අඩුවෙන්. වෙනස් විදියේ ගුණාත්මක නොවන නිර්මාණ වැඩි වැඩියෙන් රූපවාහිනි, ගුවන්විදුලි නාලිකාවල අහන්න දකින්න ලැබෙනකොට, ඇයි අපි හොඳ නිර්මාණ කරන්නේ? කවුද ඒවා අහන්නේ? කවුද ඒවා අස්සවන්නේ කියන කාරනා එක්ක පරණ අයත් හොඳ නිර්මාණ කරන්න මැලි වුණා. හැබැයි ”පවතින ගීත’’ රැුල්ලක් ආයේ එයි කියලා හිතෙනවා. රැුල්ලට ආව ගීතත් දැන් නැහැ. ඒ ගීත රැුල්ලෙන් ආව ගායක ගායිකාවන්ගේ නමවත් දැන් කාටවත් මතක නැහැ. ප‍්‍රසංගවලවත් ඒ අය දකින්න නැහැ. වාණිජ පරමාර්ථයෙන් එක පාරට ආව රචකයෝ ගායකයෝ සංගීතය කරන අය එක පාරට නැතුව යනවා. වෙසක් කාලෙට කාඞ් විකුණන අය වගේ එක කාලයයි. අවුරුද්ද පුරාම නැහැනේ. ඒ වගේ තමයි සමහරු.

පුංචි කාලෙන් පස්සේ ආයේ රඟපෑවේ නැහැ නේද?

රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත් මට හිතුනා මේක තමයි මට සුදුසුම දේ කියලා. මට නිවේදන හැකියාවත් තියෙනවා. සහන නිවේදිකාවක් විදිහට ගුවන් විදුලියේ පොඩි කාලයක් මං වැඩ කළා. මං ආසා එකම ටයිටල් එක ගායන ශිල්පය විතරයි. මං කවදාවත් මගේ වෘත්තියට පිට වෙන කිසි දෙයක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි.

ප‍්‍රසංගවලට සහභාගී වෙන්නේ?

රුචිර හිටියොත් එයා මගෙත් එක්ක ප‍්‍රසංගවලට සහභාගි වෙනවා. එහෙම නැත්නම් මගේ යෙහෙළියෝ කීපදෙනෙක් ඉන්නවා එයාල එක්ක තමයි මං ප‍්‍රසංගවලට සහභාගි වෙන්නේ. මං කවදාවත් තනියෙන් යන්නේ නෑ. මං විවාහ වෙන්න කලින් මගේ තාත්තාත් එක්ක විදෙස් ප‍්‍රසංගවලට සහභාගී වුණේ. විවාහ වුණාට පස්සේ මගේ සැමියත් එක්ක. පුතත් අරගෙන යන්නේ මම.

පක්ෂ පාටවලට ඔබේ ගීත, ගායනා නැද්ද?

කලාකාරියක් විදිහට මට පක්ෂයක් දේශපාලනයක් නැහැ. හැම කෙනාගේම හදවතේ ඉන්න ගායිකාවක් වුණහම ඇති මට. කිසිම වේදිකාවක නැගලා සින්දු කියන්න මං යන්නේ නැහැ. පවතින ආණ්ඩුවක යම් ප‍්‍රසංගයක උත්සවයක ගීත ගයන්න කිව්වොත් මං කරනවා. නමුත් ඒ පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි. මං හැමදාම මගේ හඬින්

හම්බකරගන්ත කෙනෙක්. කිසිම දේකින්, කිසිම වරප‍්‍රසාදයක් ලබන්නේ නැතුව බොහොම අහිංසකව මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. මං මට ලැබෙන දේ කරගෙන මගේ පාඩුවේ ඉන්නවා.

යුගන්ති යශෝධරා

No comments:

Post a Comment

Post Bottom Ad