පැහැරගත් පොලිස් නිලධාරියා කුඩු ව්‍යාපාරයේ නිරත 47 හැවිරිදි විවාහක දෙදරු කාන්තාවක් සමඟ වසර තුනක අනියම් අැසුරක් පවත්වලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2020

පැහැරගත් පොලිස් නිලධාරියා කුඩු ව්‍යාපාරයේ නිරත 47 හැවිරිදි විවාහක දෙදරු කාන්තාවක් සමඟ වසර තුනක අනියම් අැසුරක් පවත්වලා

කුඩු ව්‍යාපාරයේ නිරත 47 හැවිරිදි විවාහක දෙදරු කාන්තාවක් සමඟ වසර තුනක කාලයක සිට අනියම් ඇසුරක්
බන්ටි අනියම් ඇසුර පිළිබඳ වෛරයෙන්

කඩවත පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් රියැදුරු රාජපක්ෂ (14535) මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පැහැරගැනීමකට ලක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරවාරේ පන්නල පොලිස් වසමේ කංකානියමුල්ල රජයේ රක්ෂිතයේ ඇති මිනිස් ලේ වහනය වී ඇති ස්ථාන කිහිපයක් පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ඊයේ (18දා) උදෑසන සිට පෑළියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ කටයුතු සිදුකරයි.

පැහැරගැනීමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා 37 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වත්තල ප්‍රදේශයේ කුඩු ව්‍යාපාරයේ නිරත 47 හැවිරිදි විවාහක දෙදරු කාන්තාවක් සමඟ වසර තුනක කාලයක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.

මෙම අනියම් ඇසුර පවත්වාගෙන ගොස් ඇති කාන්තාවගේ පුරුෂයාද කුඩු සම්බන්ධ නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා අතර කුඩු ජාවාරමේ නිරත ‘බන්ටි’ නමින් හදුන්වන ඇයගේ වැඩිමහල් පුත්‍රයා අදාළ කොස්තාපල්වරයා සමඟ සිය මව පවත්වාගෙන යන්නා වූ අනියම් ඇසුර පිළිබඳ වෛරයෙන් පසුවී ඇත.


අනියම් ඇසුර පවත්වාගෙන ගිය කාන්තාවට එම ඇසුර නිසාම ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන ‘බන්ටි’ විසින් පසුගිය 16 වැනිදා රාත්‍රියේ පහරදීමට උත්සාහ කර ඇති අතර එම සිදුවීමත් සමඟ එම කාන්තාව පොලිස් කොස්තාපල්වරයා සමඟ 17 වැනිදා පිටවී ගොස් අලුයම කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇත. කාන්තාවගේ ඥාති දියණියක රැගෙන එන රාත්‍රි ආහාර ලබාගැනීමට පොලිස් කොස්තාපල්වරයා හෝටලයෙන් ඉවතට පැමිණ ඇති අතර, එහිදී (17 වැනිදා) අලුයම 1.20ට ත්‍රිරෝද රථයකින් පැමිණි 4 දෙනකු එකී කොස්තාපල්වරයාට පහරදී ත්‍රිරෝද රථයේ දමාගෙන යන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව ඇත.

මීට ඉහතදී මෙම අනියම් ඇසුර පවත්වාගෙන ගිය කාන්තාවගේ සොහොයුරියගේ පුතා වන ‘සුද්දා’ නමැති පුද්ගලයා විසින් අදාළ කොස්තාපල්වරයා පෑලියගොඩ ප්‍රදේශයේදී නොමරා පන්නල පොලිස් වසමට අයත් කංකානියමුල්ල රක්ෂිතයට ගෙනැවිත් මරන බවට කර තිබූ ප්‍රකාශය මත කොස්තාපල්වරයා සෙවීමේ කටයුතු සිදුකිරීමට පොලිස් නිලධාරීහු මේ වන විට කංකානියමුල්ල රක්ෂිතයේ විමර්ශන කටයුතු සිදුකරමින් සිටිති.

1983 නොවැම්බර් 18 දින කාරියමඩිත්තේ උපත ලබා ඇති කොස්තාපල්වරයා දෙදරු පියෙකි. කඩවත පොලිසිය ඇතුළු පොලිස් අංශ කිහිපයක්ම මේ වනවිට විමර්ශන සිදුකරන අතර ඔහුගේ බිරිය ඉකුත් 16 වැනිදා රාත්‍රි පැය කිහිපයක් ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගැනීමට නොහැකිව උත්සාහ කර තිබේ.

පසුව රාත්‍රි 11.30ට පමණ ඇමතුමක් ලබාගෙන ඇති අතර හදිසියේ එම ඇමතුම බිඳවැටී ඇතැයි පොලිස් නිලධාරියාගේ මව පී.ජී. කරුණාවතී මහත්මිය පැවැසුවාය. ඔහු පවුලේ සහෝදරයන් සිවුදෙනකුගෙන් යුත් පවුලක බාලයා වේ.

කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ නිල සුනඛ ‘විකි‘ හා ‘ෆ්ලෑෂ්’ යොදවා වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර පන්නල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතා ඇතුළු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, උප පොලිස් පරික්ෂක සම්පත්, පොලිස් සැරයන්වරුන් වන ධර්මසිරි (33507), අබේනායක (23310), පොලිස් කොස්තාපල්වරුන් වන අරවින්ද (88617), සරත් (63010) ඇතුළු නිලධාරීන් විසින් මෙම පරීක්ෂණය සිදුකරනු ලබයි.

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා, මාතර _ උදය කුමාර රණවීර

No comments:

Post a Comment

Post Bottom Ad