මනුෂ නානායක්කාරත් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 18, 2019

මනුෂ නානායක්කාරත් ඉල්ලා අස්වෙයි

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන් එළඹී ඇති මේ අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.


ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කරයි. ඔහු තමන්ට ලැබී තිබූ විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීධූරයෙන්ද ඉල්ලා අස්වී ඇති අතර නිකුත් කළ නිවේදනය මෙසේය.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ, ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම මාගේ ප්‍රණාමය පුදකරමි. යුක්තිගරුක රටක් වෙනුවෙන්, ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එදා මා තැබූ පියවර තවත් ශක්තිමත්ව ඉදිරියට තබන්නේ ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම ආරක්ෂා කරගනිමිනි. දේශපාලනික වශයෙන් එළඹෙමින් තිබෙන අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවට ශපථ වෙමි.

එදා දින පනස් දෙකේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ ඇමැතිධූරය ලබාගෙන ඇමැති වරප්‍රසාද බුක්ති විදීමට අවස්ථාව තිබුණත් ජනතාවගේ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජු තීරණයක් ගැනීම නිසා වසරකට අධික කාලයක් තිස්සේ කිසිදු ඇමැතිධූරයක් හිටපු ජනාධිපතිවරයා මා වෙත ලබාදුන්නේ නැත. ජනතාව වෙනුවෙන් කැප කිරීම් කළ මට ඔබ වෙනුවෙන් සේවය කිරීමට ඇමැතිධූර අත්‍යවශ්‍ය වූයේ නැත. ජනතා කැමැත්තට හිස නමමින්, අගමැතිතුමා විසින් මා හට ලබාදුන්, විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කළෙමි.

හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන අතර යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවාදී පාලනයක් ගෙන යාමට එතුමන්ට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

– මනුෂ නානායක්කාර

No comments:

Post a Comment

Post Bottom Ad