සජිත් වෙනුවෙන් දෙමළ මුස්ලිම් සහය ගැනීමේ වගකීම අගමැති රනිල් භාර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 27, 2019

සජිත් වෙනුවෙන් දෙමළ මුස්ලිම් සහය ගැනීමේ වගකීම අගමැති රනිල් භාර ගනී

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ  ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත්  ජාතික පක්ෂයේ  නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ ජනතාවගේ සහ නැගෙනහිර පළාතේ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ සහය ගැනීමේ කාර්යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කිරීමට නියමිතය .

සමස්ත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාත් ජනාධිපතිවරණ ව්‍යාපාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය වී පවතී.

මෙම  ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම්  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළත්ව මෙහෙයුම් කමිටුවක් පත් කෙරෙන අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් රවුෆ් හකීම් , රිෂාඩ් බදුයුදීන් , මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න,පලනි තිගාදිගම්බරන් සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරු  එම කමිටුවේ  සාමාජිකත්වය දරති.

කොළඹ ගම්පහ සහ කළුතර ඇතුළත්ව ප්‍රශ්න බස්නාහිර පළාත් ජනාධිපතිවරණය ව්‍යාපාරය  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය රාජිත සේනාරත්න සහ  එජාප උප  නායක අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන්ගේ  මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.

අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු  මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද  බස්නාහිර පළාතේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මූලිකව කටයුතු කරති.

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත්ව මධ්‍යම පළාතේ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන්නේ සභානායක  අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහත්වරුන්ගේ නායකත්වයෙනි.

එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම්  කටයුතුවලට නායකත්වය දීමට නියමිතය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ය .

ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ඡන්ද  ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.ඇල්පිටිය  ප්‍රාදේශීය සභා ඡන්දය අවසන් වීමෙන් පසු අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා ද ගාල්ල දිස්ත්‍රික්කය ජනාධිපතිවරණ ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා එක්වීමට නියමිතය.

ජනපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය රනිල් ව වික්‍රමසිංහ මහතා සමග රට පුරා  පැවැත්වෙන ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවලට එක්වන අතර වෙනමම වැඩපිළිවෙළක් මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සඳහා දායකත්වයක් දීමට ද  නියමිත ය.

අනෙකුත් දිස්ත්‍රික්ක කීපයේ  ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම පැවරෙන  ආකාරය  පිළිබඳව ලබන අඟහරුවාදා අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂිතය.


No comments:

Post a Comment

Post Bottom Ad