මධුෂ්ගේ ගෝලයා සපුගස්කන්දේ සමන්ත අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 26, 2019

මධුෂ්ගේ ගෝලයා සපුගස්කන්දේ සමන්ත අත්අඩංගුවට

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම අනුගාමිකයකු වූ සමන්ත පුෂ්පකුමාර නමැති සපුගස්කන්ද යුද හමුදා කඳවුරේ සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයකුගේ නිවෙසක් ඊයේ (25දා) පෙරවරුවේ පරීක්ෂා කිරීමේදී ටී - 56 ගිනි අවිවලට භාවිත කරන 356 වර්ගයේ පතරොම් 21ක්, හමුදා කැලෑ ඇඳුම් සහ හමුදා නිල ඇඳුම්
කොටස් හතක්, අත් විලංගුවක් (මාංචුවක්), හිස් වැසුමක්, හමුදා හිස්වැසුම් 3ක්, සපත්තු කුට්ටමක්, හමුදා නිලධාරීන් පලඳින නිල ලාංඡන විශාල සංඛ්‍යාවක්, බොත්තම් සහ යුද උපක්‍රම පිළිබඳ පුහුණුව ලබාදෙන පොත් දෙකක් කඹුරුපිටිය, බෙන්ටින්වත්ත, රන්චාගොඩ ලිපිනයේ එම හමුදා නිලධාරියාගේ නිවෙසේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 04 වැනි දින හක්මණ - කැබැල්ලපොළදී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි එල්.එස්. ශාන්ත මහතා ඝාතනය කිරීම හා කඹුරුපිටියේ ව්‍යාපාරිකයකු වූ ධර්මදාස යන අය ඝාතනයට තැත් කිරීම හා චෝදනා සම්බන්ධයෙන් සැකකරුවකු වූ මෙම පුද්ගලයා පිළිබඳව මේ වනවිට එම මන්ත්‍රිවරයාගේ ඝාතනයට සම්බන්ධව බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.

ඉඩමක් මිලට ගැනීමට යැයි පවසා හක්මණ - කැබැල්ලපොළ ප්‍රදේශයේ තම ඉඩමට කැඳවාගෙන ගොස් ලොකුහකුරුගේ ශාන්ත නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ ගෙල කපා දමා ඝාතකයන් පලාගොස් තිබිණි. එම ඝාතනයට සැකකරුවන් පස්දෙනකු පැමිණ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. එම ඝාතනයට සැලසුම් කළේ යැයි තංගල්ල වෘත්තීය පුහුණු ආයතනයක උපදේශිකාවක් ඇතුළු පස්දෙනකු මේ වනවිට බන්ධනාගාරගතව ඇත.

මෙය මාකඳුරේ මධුෂ් විසින් සැලසුම් කළ බවටත්, ඔහුගේ ප්‍රධාන අනුගාමිකයා වූ මෙම යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා මෙම පරීක්ෂණ අතරතුර හමුදා කඳවුරෙන් පලාගොස් ඇති බවටත් කරුණු වාර්තා විය. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් ලද දුරකථන විශ්ලේෂණවලට අනුව මෙම ලාන්ස් කෝප්‍රල්වරයා පිළිබඳ තොරතුරු සොයාගෙන තිබේ.

ඊට අමතරව කෝටි හත්සියයේ මැණික් කොල්ලය සඳහා මෙම සැකකරු සම්බන්ධ බවට තොරතුරු රාශියක් දුරකථන විශ්ලේෂණවලින් සොයාගත් බවත් එම මැණික් ගල අයිති ව්‍යාපාරිකයාට පොලිසියෙන් යැයි පවසා විලංගු දැමූ මාංචු මෙය විය හැකි බවටත් පොලිසිය සැක පහළ කරයි.

මෙම ඇඳුම් සමඟ අත්අඩංගුවට ගත් උපකරණ එම නිවෙසේ තිබූ බව වාර්තා වේ. එම නිවෙසේ ගෘහ මූලිකයා වූ යුද හමුදා ලාන්ස් කෝප්‍රල් සමන්ත පුෂ්පකුමාරගේ පියා වූ 53 හැවිරිදි පුද්ගලයකු පොලිසිය මඟින් යුද උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.


-උදය කුමාර රණවීර-

No comments:

Post a Comment

Post Bottom Ad