පෙර පාසලට පැන දරුවන්ගේ කැට කඩා සල්ලි ගත් හොරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 1, 2018

පෙර පාසලට පැන දරුවන්ගේ කැට කඩා සල්ලි ගත් හොරා

මිරීගම ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන බෝතලේ ශ්‍රී ගෝඨාභය පෙර පාසල් ගොඩනැගිල්ලට ඇතුළු වූ සොරකු එහි ඉගෙනුම ලබන දරුවන්ගේ කැට කඩා රු. තිස්දහසක පමණ මුදලක් සොයා ගෙන ගොස් ඇතැයි මිරීගම පොලිසිය කියයි. ඊයේ (31දා) අලුයම මෙම සොරකම වී ඇතැයි පොලිසිය සැක කරයි.
මෙම පෙර පාසලේ ප්‍රදේශයේ දරු දැරියන් 46 දෙනකු ඉගෙනුම ලබන අතර සෑම දරුවකු වෙනුවෙන්ම මුදල් ඉතිරි කිරීම සඳහා කැටයක් තබා ඇත.

දරුවන් දිනපතා කිසියම් මුදලක් එහි දමන අතර වසර අවසානයේ එම මුදල දරුවන්ගේ ගිණුමක තැත්පත් කිරීම සිදුවේ. ඊයේ (31දා) උදේ

එහි පාලිකාව සේවයට පැමිණ දොර විවෘත කරද්දී මේස රෙද්දක් බිම එළා ඒ මත කපන ලද කැට තබා තිබෙනු දැක පරික්ෂා කරද්දී මේ සොරකම හෙළි වී ඇත. පෙර පාසලේ වහලයේ උළු ඉවත් කර ඇතුළට බැස ඇති සැකකරු වටේට තබා තිබූ මුදල් කැට එකතු කර කතුරු දෙකක් උපයෝගී කරගෙන කපා මුදල් එකතු කරගෙන වහලයෙන්ම එළියට ගොස් ඇති බව හෙළි වී ඇත.

එළියට යද්දී මුදල් පොට්ටනියක් බිම වැටී තැන තැන විසිරී තිබූ කාසි තොගයක් හමු වී එකතුකර තිබෙනු දැකිය හැකි විය. දරුවන්ගේ කැටයක අවම වශයෙන් රුපියල් දහස ඉක්මවා තිබු බව ගණන් බලා ඇති අතර කිහිපදෙනකුගේ කැටවල තිබූ මුදල රුපියල් දෙතුන් දහස ඉක්මවා තිබූ බවද පෙර පාසල් පාලිකාව සඳහන් කළාය. සිද්ධිය පිළිබඳව මීරිගම ප්‍රාදේශීය සභාවට දැන්වීමෙන් පසු එහි සභාපති සරත් නන්දසිරි මහතා ඇතුළු නිලධාරීද පැමිණ පරික්ෂා කරනු ලැබීය. ඇඟිලි සලකුණු විශේෂඥයන් කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබිණි. මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පීරිස් මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ පැවැත්වේ .

-දිනුෂි කේ.එම්.ආරච්චි-

No comments:

Post a Comment

Post Bottom Ad