වැලිකඩ සිරකාරියන්ගේ ආරවුල ඊයේත් ඇවිලේ නියාමකයන්ටත් පහර දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 21, 2018

වැලිකඩ සිරකාරියන්ගේ ආරවුල ඊයේත් ඇවිලේ නියාමකයන්ටත් පහර දීලා


වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රැඳවියන් පිරිසක් ඊයේ (20දා) පස්වරුවේ ඔවුන් රදවා සිටින නිවෙස්නයක වහලයට නැඟ යළිත් වතාවක් සිදුකළ විරෝධතාවක් මැඬපැවැත්වීමට යෑමේදී ඇති වූ කලහකාරී තත්ත්වයක් හේතුකොටගෙන
බන්ධනාගාර නිලධාරීන් පිරිසක් හා විරෝධතාවයේ නිරත රැඳවියන් පිරිසක් තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම කලහකාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු හා රැඳවියන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තවත් නිලධාරීන් පිරිසක් තුවාල ලබා ඇති බවත්ය.

එම නිවස්නයක රඳවා සිටි කාන්තා රැඳවියන් දෙදෙනකු ඊයේ (20දා) පස්වරු 2.30ට පමණ ඔවුන් ර¼දවා සිටි නිවස්නයේ වහලය මතට නැඟ තමන්ට ඇප ලබා දෙන ලෙසත් පහසුකම් සපයන ලෙසත් ඊට අමතරව තවත් ඉල්ලීම් කිහිපයකුත් සඳහන් පුවරු රැගෙන වහලය මත විරෝධතාවයේ නිරත වූ අතර එහි රඳවා සිටි තවත් රැඳවියන් පනස් දෙනකු එකී විරෝධතාවට එක් වී කලහකාරී ලෙස හැසිරුණු බවද දැනගන්නට තිබේ.

පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් නිලධාරින් පිරිසක් එකී රැදවියන් සිටි ස්ථානය වෙත ගොස් වහලයෙන් පහළට බසින ලෙස දන්වා ඇති නමුත් ඔවුන් එකී නිලධාරීන්ගේ ඉල්ලීම්වලට අවනත නොවී වහලයේ උලුකැට ගලවා එම නිලධාරීන්ට පහර දී ඇති බව ද ඒ අවස්ථාවේදී නිලධාරීන් පිරිසකට තුවාල සිදුව ඇති බව ද වාර්තා වෙයි.

උසස් නිලධාරීන්ගේ අවවාදවලට ඇහුම්කන් නොදුන් එකී රැඳවියන් ඔවුන්ගේ විරෝධතාවන් දැඩි කොට නිලධාරීන්ට පහර දෙමින් සිටි අවස්ථාවේ එම ස්ථානයට පැමිණි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔවුන් පාලනය කිරීමට උත්සාහ ගෙන ඇති බවද ඒ අවස්ථාවේදී නිලධාරීන් හා එකී රැඳවියන් අතර පෙර කී කලහකාරී තත්ත්වය ඇති වී තිබෙන බව ද වාර්තා වෙයි.


එකී කලහකාරී තත්ත්වයෙන් පසු ඊයේ පස්වරු 5.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් මෙල්ල කරගෙන ඇති බව ද එසේ මෙල්ල කර ගැනීමෙන් පසු එම කලහකාරී සිද්ධියට මූලික වූ බවට හඳුනාගත් රැඳවියන් පනස් දෙදෙනකු (52) පමණ බන්ධනාගාර බස් රථ හතරකින් කළුතර ඇතුළු කොළඹ අවට බන්ධනාගාර කිහිපයක් වෙත එම සිද්ධියෙන් සුළු වේලාවකට පසු ස්ථාන මාරු කර ඇති බවද එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් එසේ බස් රථවලින් රැගෙන යන අවස්ථාවේදී එම රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් බොරැල්ල ප්‍රදේශයේදී එකී රැඳවියන් ගෙන ගිය බස් රථවලට අවහිර කරමින් බන්ධනාගාර නිලධාරීන් හා බන්ධනාගාර අමාත්‍යවරිය දැඩි ලෙස විවේචනය කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසීමේදී කියා සිටියේ පසුගිය 13 හා 14 යන දෙදින තුළ එකී කාන්තාවන් දැක්වූ විරෝධතාවයෙන් පසු ඔවුන් එම නිවස්නවලට දමා ආරක්‍ෂා සහිතව රඳවා සිටින අතරතුර ඊයේ පස්වරුවේ රැඳවියන් සිය දෙනකු පමණ ඔවුන් රඳවා සිටින නිවස්නවල ආරක්‍ෂක ‍ෙදාරවල් කඩා පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරුණු බවත් එම පිරිස් පාලනය කිරීමට යෑමේදී එකී රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් වෙත මුත්‍රා හා මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ බවත් ඉන්පසු ඔවුන් පාලනය කිරීමට සිදුවූ බවත්ය.

එම නිවස්නයේ රඳවා සිටි මත්කුඩුවලට සම්බන්ධ රැඳවියක් ඊයේ පෙරවරුවේ වෙනත් බන්ධනාගාරයකට ස්ථාන මාරු කර යැවීමට එරෙහිව ඔවුන් එසේ විරෝධය දැක්වූ බවත් එම නිවස්නවල රැඳවියන් 400ක් පමණ රඳවා ඇති නමුත් මෙකී විරෝධතාවලට එක්වී ඇත්තේ සිය දෙනකු බවත් පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මත්කුඩුවලට සම්බන්ධ රැඳවියන් පිරිසක් විසින් දිගින් දිගටම මෙකී විරෝධතාව පවත්වා ඇති බවත්ය. ඔවුන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවත් සමඟ ඊයේ පෙරවරුවේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබියදී ඔවුන් එකී විරෝධතාව පැවැත්වූ බවද ඔහු කීය.

කුමුදු උපුල් ශාන්ත

No comments:

Post a Comment

Post Bottom Ad