පැල්වත්ත සීනි කම්හලේ ගින්න නිසා කෝටියක පාඩුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 9, 2018

පැල්වත්ත සීනි කම්හලේ ගින්න නිසා කෝටියක පාඩුවක්


බුත්තල _ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ හතර වැනි මහලේ ඇති සීනි කැට නිෂ්පාදන අංශයේ ඇති වූ ගින්නකින් එහි තිබූ ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය ඇතුළු එම කාමරය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බුත්තල පොලිසිය පවසයි.
එම සමාගමේ සාමාන්‍යාධිකාරි ආර්.එම්. වසන්ත හේමකුමාර මහතා බුත්තල පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
අමානෝ තහඩුවලින් ඉදිකර තිබූ මෙම කාමරයේ වූ ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූවද රුපියල් කෝටියකට වැඩි දේපළ හානියක් සිදුව තිබෙන බව බුත්තල පොලිසිය පවසයි.


පොලිසිය පවසන්නේ සීනි නිෂ්පාදන අංශයේ ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය සහිත කාමරය ගිනි ගැනීමට හේතුව විදුලි කාන්දුවක් බවට මෙතෙක් කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවයි. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව පොලිසිය පවසයි.

පෙරේදා අලුයම 3.40ට පමණ ඇති වූ ගින්න අලුයම 4.10 වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පැල්වත්ත සීනි සමාගමේ ගිනි නිවන අංශය සමත්ව තිබේ.
ඒ හේතුවෙන් ගින්න පැතිරී යෑම පාලනය වූ බවත් නැතිනම් මීටත් වඩා විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බවත් පැල්වත්ත සීනි සමාගමේ නිලධාරියෙක් අප සමඟ පැවැසීය.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත බුත්තල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.බී. පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad