සෝබනේට පහ දැම්මට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට උඩපන්දු අල්ලන්න බෑ.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 2, 2018

සෝබනේට පහ දැම්මට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට උඩපන්දු අල්ලන්න බෑ....


ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම කබලෙන් ලිපට වැටී ඇති බව දඹුල්ලේදී පාකිස්තානු කාන්තා පිලට එරෙහිව පැවැති එක්දින තරග තුනේ ප‍්‍රතිඵලය ලෙස බැලීමේදී මනාව පැහැදිලි වේ. පාකිස්තානු ක‍්‍රීඩිකාවෝ එම තරග තුනේදී ශ්‍රී ලංකා පිල බිමට සමතලා කිරීමට සමත් වූහ. එහිදී පාකිස්තානු පිලේ ජයග‍්‍රහණයට ඔවුන්ගේ දක්‍ෂතාවලට වඩා ශ්‍රී ලංකා පිලේ දුර්වලතා ප‍්‍රධාන සාධකය බවට පත්විය. 
ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරිත්වයේ දුර්වලතා, පිතිකාරිනියන් අවස්ථානුකූලව ලකුණු රැස්කිරීමට පුහුණුවක් නොලැබීම සහ උපදෙස් නොලැබීම, පන්දු රැකීම දැඩි දුර්වල තත්ත්වයක පැවැතීම සහ පන්දු යවන්නියන් අවස්ථානුකූලව පන්දු නොයැවීම යන කරුණු හේතුවෙන් සමස්ත කණ්ඩායම දුර්වල වී ඇති බව පැහැදිලිය.
මෙහිදී පන්දු රැකීමේ දුර්වලතාව ශ්‍රී ලංකා පිලේ කඩා වැටීමට මුල පිරූ බව කිවහැකිය. දෙවැනි තරගයේදී නායිකා බිස්මා මහරුෆ් පන්දු 90 කින් ලකුණු 89 ක් රැස්කළ අතර එහිදී අවස්ථා තුනකදී පහසු උඩපන්දු බිමදැමීම බිස්මාට ලොතරැයි දිනුමක් ලැබුණා වැනිය. බිස්මා ලකුණු 9 ක් ලබා සිටියදී සුගන්දිකා කුමාරි, ලකුණු 54 ක් ලබා සිටියදී චමරි පොල්ගම්පොළ සහ ලකුණු 69 ක් ලබා සිටියදී ශ්‍රීපාලි වීරක්කොඩි උඩපන්දු අතහැරියහ. 
බිස්මා ලකුණු 9 යේදී ලබාදුන් උඩ පන්දුව රුකගත්තේ නම් පාකිස්තානයට ලකුණු 150 කට යෑම අපහසුවනවාට සැක නැත. එසේ වූයේ නම් ශ්‍රී ලංකා පිලට පහසු ඉලක්කයක් ලැබෙනු ඇත. ශ්‍රී ලංකා පන්දු රකින්නියන් එකවර පන්දු ග‍්‍රහණය කරගැනීමට දක්වන දුර්වලතාව හේතුවෙන් පාකිස්තානු පිලට ඉනිමකදී අමතර ලකුණු 25 කට වැඩි සංඛ්‍යාවක් එකතු විය. 
ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩිගේ පන්දු රැකීම දැඩි දුර්වල තත්ත්වයක තිබුණි. ශ්‍රීපාලි පන්දුව එකවර රැකගත් අවස්ථාව ඉතාමත් අඩු බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ පුහුණු සැසිවලදී පන්දු රැකීමේ පුහුණුව නොලැබීම මෙයට ප‍්‍රධාන හේතුව බව තතු දන්නෝ පවසති. 
අපෝ සර් දැන් අව්වයි. මේ පැත්තට අව්වයි සර් වැනි දෙවල් පුහුණු සැසිය ආරම්භ වීමට පෙර ඇසෙන බව වාර්තා වේ. ක‍්‍රීඩිකාවන්ගේ මතයට යටත් වන්නේ යැයි කියන පුහුණුකරුවන් පන්දු රුකීමේ පුහුණු සැසි අතහැර දමන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පිතිකාරියන් තුළ අවස්ථානුකූලව ලකුණු රැස්කිරීමේ පුහුණුව නොමැති බව තෙවැනි තරගයේ කඩුලු වැටුණු ආකාරයෙන් පැහැදිලි විය. ලකුණු 216 ක ඉලක්කය හඹායමින් පළමු කඩුල්ලට ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වුවද ලකුණු සංඛ්‍යාව 49 ක්ව තිබියදීම පන්දු 13 ක් තුළ කඩුලු 4 ක් බිඳ වැටීමෙන් මුළු ලකුණු සංඛ්‍යාව 107 කට සීමාවිය. ශ්‍රී ලංකා පිතිකාරියන්ට ඉනිමක් ගොඩගැනීමේ සහ දිගු සම්බන්ධතා ගොඩනැගීමේ පුහුණුවක් නොමැත. හොඳ පන්දුවට එක ලකුණද දුර්වල පන්දුවට හතරේ පහරක්ද ගැසීමේ පුහුණුව ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් සතුව නොමැත. 
බිස්මා මහරුෆ්ගේ ලකුණු 89 න් ලකුණු 30 ක් එකේ ලකුණ බැගින් රැස්කළ ඒවා විය. පිතිකාරියන්ට නිවැරදි උපදේශයක් ලැබෙන්නේද යන්න මෙහිදී සැක පහළ වේ. පාකිස්තානු පිලේ නවසීලන්ත ජාතික පුහුණුකරු මෙයට කදිම ආදර්ශකයක් සපයයි. ඔහු ක‍්‍රීඩිකාවක් දැවී යෑමෙන් පසුව ඇයත් සමඟ ක‍්‍රීඩාංගණයේ වටයක් දිවීම සාමාන්‍ය තත්ත්වයකි. එය අපේ පුහුණුකරුවන් සහ ක‍්‍රීඩිකාවන් තේරුමක් නොමැති දේටත් පහේ ඒවා දැමීම වාගේ නොව, එහිදී ඔහු ක‍්‍රීඩිකාවට දැවී යෑම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ආකාරය වඩාත් අකර්ෂණීයය. 
දඹුල්ලේදී පැවැති පළමු එක්දින තරගයේදී චමරි අතපත්තු කාසියේ වාසිය ලැබුවද පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානු පිලට පිරිනැමීය. මෙම තීරණය ගැනීමට හේතුව බවට පත්ව ඇත්තේ ක‍්‍රීඩාංගණයේ තණතිළි සකස් කරන නිලධාරියකුගේ ප‍්‍රකාශයක් බව වාර්තා වේ. පළමු පැයේ වේග පන්දු යවන්නන්ට වාසියක් තියෙනවා. ටොස් එක දිනුවොත් බැට් කරන්න යැයි අදාළ තණතිළි සකස් කරන පුද්ගලයා පවසා ඇතැයි වාර්තා වේ. 
පාකිස්තානු පිල දෙවැනි සහ තෙවැනි තරගවලදී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් අතර පාකිස්තානු පිල පළමුව පන්දුවට පහර දෙමින් පිළිවෙළින් ලකුණු 250, 250 සහ 215 ක් රුස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ලකුණු 181 ක් රැස්කළද දෙවැනි සහ තෙවැනි තරගවලදී බඩගාමින් ලකුණු 156 සහ 107 ක් පමණක් ලබාගත්තේය.
මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ට වාර්ෂික ගිවිසුම් පිරිනැමීම ක‍්‍රිකට් ආයතනය කල්දැමීම වඩාත් සාධාරණය. පළමු කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ දස්කම් අවධානයට ගෙන ගිවිසුමට ඇතුළත් කිරීමට ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. 
ක‍්‍රිකට් ආයතනය තුළ කාන්තා ක‍්‍රිකට් මෙහෙයවන කොළඹ හතේ ආකාරයට හැසිරෙන නෝනලා ද මෙම කඩා වැටීමට හරි හරියට වගකිව යුතුය. රට වටේ ගොස් මුදල් සහ කාලය නාස්තිකර තේරීම් වැඩමුළු පැවැත්වීමෙන් කාන්තා ක‍්‍රිකට් දියුණු කළ නොහැක. එවැනි දේවල්වලින් අදාළ නෝනලාට දියුණු විය හැකිය. 
21,004 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad