පොල් ගෙඩියකට හුවමාරු වු කුසගින්න..... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 19, 2018

පොල් ගෙඩියකට හුවමාරු වු කුසගින්න.....




අතීතයේ සිදුවූ භාණ්ඩ හුවමාරු වෙළඳාම වර්තමානයේ සිදුවන අපූරු දසුනක් පසුගියදා දඹුල්ල කැකිරාව ප‍්‍රධාන මාර්ගයේ කිතුල්හිටියාව ප‍්‍රදේශයේ දී දැකගැනීමට හැකියාව ලැබුණු බව අප වාර්තාකරු පවසයි.

එම භාණ්ඩ හුවමාරුව දුටු කාටත් දැඩි සංවේගයක් ඇති වී තිබේ. ඒ පාන් ගෙඩි දෙකකට පොල්ගෙඩි දෙකක් හුවමාරු කරගැනීමේ සිද්ධියක් නිසාය.

දඹුල්ල සිට අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ කිතුල්හිටියාව ප‍්‍රශදේශයට ආසන්නව  ත‍්‍රිරෝද රථයක ශබ්ද නගමින් පාන් සහ විවිධ තිරිඟු පිටි ආහාර අලෙවි කිරීමේ ජංගම රථයක් ධාවනය වෙමින් පැවත ඇත. 

ගමේ බොහෝ දෙනා එම රථය හඳුන්වනු ලබන්නේ "චූන් පාන්" නමිනි.

වෙනත් පුද්ගලික කටයුත්තකට ඒම ප‍්‍රදේශයට ගොස් සිටි අප මිතුරෙකු සමඟ ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ කතා කරමින් සිටියදී අප වාර්තාකරු මෙම දර්ශනය දැක තිබේ.

වයස අවුරුදු 50 පමණ ඉක්මවූ උඩුකය නිරුවත්ව කෙටිවට සරමක් හැඳ ගත් පුද්ගලයෙකු චූන් පාන්කරුගේ  නාදය පරයමින් කෑ ගසා පාන් ත‍්‍රිරෝද රථය පාරට පැන නවතා තිබේ.

එම පුද්ගලයා සතුව පොල්ගෙඩි දෙකක් තිබී ඇති අතර, මද වේලාවක් එම ස්ථානයේ පාන් වෙළෙන්දා සහ පොල් ගෙඩි දෙක අත ඇති පුද්ගලයා අතර කතාබහක් ඇතිව තිබේ.

පසුව පොල් ගෙඩි දෙක ලබා ගෙන තමන්ට පාන් රාත්තල් දෙකක් ලබා දෙන්නැයි පාරිභෝගිකයා පාන් වෙළෙන්දාට යෝජනා කර ඇත.

එහෙත් පාන් වෙළෙන්දා කියා සිටින්නේ තමාට පොල් අනවශ්‍ය බවත් පාන් රාත්තල් 2 ණයට ලබාගෙන පසුදා තමා පැමිණෙන විට මුදල් ලබා දෙන ලෙසත්ය.

එහෙත් එම යෝජනාවට පාරිභෝගිකයා අකමැත්ත ප‍්‍රකාශ කරමින් හෙට දිනයේ ද තමන්ට කුලී වැඩක් නොමැති වුවහොත් ණයකරුවෙක් බවට පත්වෙන බව පවසා තිබේ.

පාන් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයාගේ බව සිතිය හැකි කුඩා ළමුන් කිහිප දෙනෙකු පාන් රාත්තල් දෙක රැගෙන එනතුරු ගෙමිදුලේ ඒ දෙස බලා සිටින ආකාරය අප වාර්තාකරු දැක ඇත.

පසුව පාන් වෙළෙන්දා සිය පාරිභෝගිකයාගේ පොල් ගෙඩි දෙක ලබාගෙන ඔහුට පාන් රාත්තල් දෙකක් ලබාදී සිනහ මුහුණෙන් පිටව යන්නට වූ අතර පාරිභෝගිකයා එදින තම නිවසේ සහ තමන් සතුව තිබූ උපරිම වත්කම වූ පොල් ගෙඩි දෙක ලබාදී පාන් රාත්තල් 2ක් රැගෙන නිවසට ගොස් තිබේ.

අප වාර්තාකරු මුහුණ දුන් මෙම අත්දැකීම ඔබට වාර්තා කිරීමට අප පෙළඹුණේ අද වන විට සමාජයේ මිනිසුන් මුහුණ දෙන ප‍්‍රායෝගික ගැටළු පිළිබඳ අවබෝධයක් ගෙන දීමට හා මෙවැනි සිදුවීම් ඉතා දුර්ලභ වු නිසාත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad