ජනපති ගමනක් ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

ජනපති ගමනක් ගිහින්

පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිවරයාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටිනු දක්නට ලැබිණි.
ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර, සිය දෙමාපියන් සමග මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටී.
ඊයේ (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිවරයා මෙම සුරතල් දියණියගේ  නිවසට ද ගොඩවැදී ඇගේ සුවදුක් විමසීමට  අමතක නොකළ අතර, ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත විය.
දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිවරයා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියෝ පවසයි.
පසුගියදා ජනාධිපතිවරයා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිවරයා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසළට යාමට ඔවුන්ට හැකියාවක් නොලැබිණි.
එහෙත් එකවර සෙනඟ අතරින් ජනාධිපතිවරයා වෙත දිව ආ දැරිය ආරක්ෂක නිලධාරින් විසින් නතර කිරීමට තැත් කළ ද, ජනාධිපතිවරයා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සැළැස්වීය.
මහත් සෙනෙහසින් යුතුව ජනාධිපතිතුවරයා තුරුළට වී සුරතල් බස් දෙඩවූ දැරිය එම උත්සවය අවසන්වන තුරුම ජනාධිපතිවරයා අසළට වී සිටිනු දක්නට ලැබුණි.
එම මතකයත් සමග ඊයේ දින එම දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් විමසූ අතර, එම නිවසේ තිබූ ජනාධිපතිවරයා සහ මෙම පුංචි දියණියගේ හමුවීම පිළිබද පළකෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක් මෙන්ම තම ඡායාරූප කිහිපයක් ද එහිදී ජනාධිපතිවරයා නෙත ගැටිණි.




No comments:

Post a Comment

Post Bottom Ad