උදයංග - අර්ජුන රතුවරෙන්තු කෙබරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 30, 2018

උදයංග - අර්ජුන රතුවරෙන්තු කෙබරය


මේ දිනවල වැඩියෙන්ම නම කියවෙන සැකකරුවෝ දෙ‍දෙනෙක් වෙති. එක් අයෙක් මහා බැඳුම්කර මගඩියේ මහ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන්ය. අනෙක් සැකකරැ පෙර පැවති රජයේ රුසියානු තානාපති උදයංග වීරතුංගය. ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙනි. කෙසේ වෙතත් දෙදෙනාට විරුද්ධව උපරිම නීතිය ක්‍රියාත්මක වෙතැයි හැමදෙනාම බලා සිටින්නේ දෑස් දල්වාගෙනය. එහෙත් දෙදෙනාම රටෙන් බැහැරව සිටිති.
මේ නිසාම බොහෝ දෙනා බලා සිටින්නේ ඔවුන්ට අද හෝ හෙට නැති නම් අනිද්දා ඒත් නැතිනම් ලබන සතියේ හෝ රතු වරෙන්තුවක් නිකුත් වෙතැයි යන බලාපොරොත්තු සහගත සිතෙනි. කෙසේ වෙතත් උදයංග වීරතුංගට රතු වරෙන්තු තිබෙන බවත් ඔහුව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් කියමින් පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොලීසිය නැටුවේය. එසේම සැකකරුව රැගෙන ඒම සඳහා මේ දැන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපළෙන් පිටව ගිය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එහෙත් හාස්‍යයට කරුණ නම් එකී කණ්ඩායම මෙරටින් ගුවන් යානයට ගොඩවෙනවිට ඩුබායි පොලීසියෙන් බේරී උදයංග වීරතුංග මෙරට ආණ්ඩුවටත් පොලීසියටත් බැණවැදී දීර්ඝ හෑල්ලක් ෆේස්බුකිය හරහා ප්‍රසිද්ධ කර තිබීමය. අවසානයේ ගිය කණ්ඩායම හිස් අතින්ම ආවේ උදයංග වීරතුංගගේ ටටා බායිද අසාය. ඒ වැරදීම ගැන වචනයක් පොලීසිය කීවේ නැත. කෙසේ වෙතත් බොහෝදෙනාට එය සැකයක් වුණේ උදයංගට විරුද්ධව රතු වරෙන්තුවකුත් ඇත්නම් ඔහු මිදී ගියේ කෙසේද යන්නය. ඊට පිළිතුරැ දෙමින් උදයංග කීවේ තමන්ට රතු වරෙන්තුක් නොමැති බවය. අවසානයේ පොලීසියටද උදයංගට රතු වරෙන්තුවක් නැති බව පිළි ගැනීමට සිදුවිය.
ඊටපසුව කරළියට ආවේ අර්ජුන මහේන්ද්‍රන්ය. අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට පෙර කිහිප වතාවක් ඔහුට දින සහිතව අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි. එහෙත් ඔහු කිසිදිනෙක පැමිණියේ නැත. අවසානයේ ඔහුටද රතු වරෙන්තු නිකුත් වෙතැයි බොහෝ දෙනා නෙත් අයාගෙන සිටියෝය. එහෙත් ඔහුටද රතු වරෙන්තු ලැබුණේ නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව රතු වරෙන්තු ලබාගැනීමේ හැකියාවක් නොමැති බවයි. එසේ ලබාගන්නට නම් ඔහු සම්බන්ධයෙන් ලිපිනය ඇතුළු කිසිම තොරතුරක් නොමැති වියයුතු බවත් එහෙත් මේ වනවිට රහස් පොලීසියට ඔහුගේ ස්ථිර පදිංචිය පිළිබඳ තොරතුරු ලැබී ඇති නිසා රතු වරෙන්තු ලබා ගැනීමට හැකියාවක් නැති බවය. කෙසේ වෙතත් සැකකරුවකු රටින් බැහැරව වෙනත් රටක ජීවත් වන්නේ නම් එසේම ඔහු සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැත්නම් රතු වරෙන්තුවක් නිකුත් කරනවා විනා ස්ථිර පදිංචි අයකුට රතු වරෙන්තු නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව එම නිලධාරියා කීය. එවැනි සැකකරුවකු ගෙන්වා ගත හැක්කේ දෙරට අතර අන්‍යොන්‍ය සබඳතාවකින් බවත් ඔහු සඳහන් කළේය.
ඒ සඳහා මුලින්ම මෙරට පොලීසිය මගින් මෙරට අධිකරණ අමාත්‍යංශය දැනුම්වත් කොට පසුව එම අමාත්‍යංශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම්වත් කළ යුතුය. ඉන්පසුව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එරට විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර එරට විදේශ කටයුතු අමාත්‍යංශය මගින් එරට අධිකරණ අමාත්‍යංශය දැනුම්වත් කොට පසුව මෙරටින් ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයෙන් තහවුරැ වනවාද? එම සැකකරු අත්‍යවශ්‍යමද යන්න සොයා බලා එරටින් පිටුවහල් කිරීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙන බව එම නිලධාරියා සඳහන් කළේය. කෙසේ වෙතත් එම තත්ත්වයම උදයංග වීරතුංගටද බලපා ඇති බවත් ඔහුද ඉන්න තැනක ලිපිනයක් දන්නා නිසා උදර්පන නීතිය යටතේ ඔහු ගෙන්වාගත යුතු බව එම නිලධාරියා කීය.
කෙසේ වෙතත් පොලීසිය මේ සම්බන්ධයෙන් පවසන කරුණුවල පවතින ගැටලු පිළිබඳව නීති විශාරදයන්ගෙන්ද අපි විමසීමක් සිදුකළෙමු.
ඔවුන් කියන ආකාරයට එහි සත්‍යතාවයක් ඇත. එනම් රතු වරෙන්තුවක් නිකුත් කළත් එහි පලක් වේදැයි යන්නය. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙකි. විශේෂයෙන් සිංගප්පූරැව අදටත් ජාත්‍යන්තර පොලීසියට යටත්ව නැත. ඔවුන් ඔවුන්ට අදාළ අනන්‍ය නීතියක් යටතේ ක්‍රියාත්මක වනවා විනා ජාත්‍යන්තර නීතිය හා ගනුදෙනු කරන්නේ නැත. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කෙතරම් රතු වරෙන්තු දැමුවත් එරට රජය ඊට අවනත වන්නේ නැත. එසේම එරට උදර්පන නීතියද ක්‍රියාත්මක නොවන නිසා සැකකරුවන් ලබාදෙන්නේ නැති බව නීති විශාරදයෝ පෙන්වා දෙති. ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වන්නේ සිංගප්පූරු ජාතිකයකු නොවූ ගෝල්ඩන් කී නඩුවේ චූදිතයකු වූ සිසිලියානා කොතලාවල මහත්මිය රතු වරෙන්තු පිට සිංගප්පුරුවේ සිටියත් ඇයව මෙරට රජයට එරට රජයෙන් බාර නොදීමය. මේ නිසා අවසානයේ ඇයම ස්වකැමැත්තෙන් පැමිණ බාර වූ බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
එහෙත් අර්ජුන් මහේන්ද්‍රන්ට රතු වරෙන්තුවක් නිකුත් කළහොත් ඔහු වෙනත් රටකදී අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බව සඳහන් වේ. එසේ අත්අඩංගුවට ගත්තත් එය උදර්පන නීතිය යටතේ සැකකරුවන් හුවමාරු කළ හැකි රටක විය යුතුය. නැතහොත් එයද ක්‍රියාත්මක කළ හැකියාවක් නැත. එනම් උදර්පන නීතිය මූලික අයිතිවාසිකම් වලට යටත්ව ක්‍රියාත්මක කරන නීතියක් බැවිනි. සැකකරැවකු ලබාදීමට අත්අඩංගුවට ගත් රජය අකමැති නම්, විශේෂයෙන් එසේ බාරදීම හරහා එරට රජයෙන් විදේශිකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ලෝකය පුරා ප්‍රචාරය වන්නේ නම් කිසිම විටෙක විදේශීය පුද්ගලයකු වෙනත් රටකට ලබා නොදෙන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
ඊට හොඳම උදාහරණය වන්නේ අලිතාලියා ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායකය. ඔහු ඉතාලි රජයෙන් ඉල්ලුවත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඔහුව ඉතාලි රජයට ලබා දුන්නේ නැත. මේ නිසා ඉතාලි රජය අලිතාලියා ගුවන් සේවය මෙරට ගමන් කිරීම නවතා දැම්මේය. ඒ සැකකරු ලබා නොදුන් නිසාය.
එසේම මීට තවත් උදාහරණයක් වන්නේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමය. ඔහු අමෙරිකාව බලා පිටත්වන විට ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්විය. ඒ මෙරට දැන්වීමකට අනුව‍ය. ඔහු අත්අඩංගුවට ගෙන දවස් දෙකක් එරට ආරක්ෂක අංශ මගින් ප්‍රශ්න කෙරිණි. ඒ මෙරටින් පැමිණෙන තෙක්ය. එහෙත් ඔහු යුක්රේන ජාතිකයකු නිසාත් ඩුබායි සහ මෙරට අතර උදර්පන නීතිය වලංගු නොවන නිසාත් අවසානයේ ඩුබායි රාජ්‍යය ඔහුව අත්හැරියේය. මේ නිසා මෙරට මූල්‍ය අපරාධ කොට්ඨාසයට වූයේ සාප්පු සවාරි ගොස් නැවත මෙරටට පැමිණීමටය.
එසේම උදර්පන නීතිය සහ ජාත්‍යන්තර පොලීසියේ ක්‍රියා කටයුතු යුක්රේනයේ බලපැවැත්වෙන අතර එහෙත් එරට රජය තම පුරවැසියන් කෙරෙහි ඇති විශ්වාසවන්තභාවය නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරකින බව සඳහන් වේ. ඒ නිසා කිසිම විටෙක කිසිදු සැකකරුවකු වෙනත් රටකට ලබා නොදීමේ ප්‍රවණතාවක් තිබෙන බව සඳහන් වේ. ඒ නිසා උදයංග වීරතුංගද අත්අඩංගුවට ගැනීම ලේසි පහසු වන්නේ නැත. ඒ උදයංග වීරතුංග යුක්රේන ජාතිකයකු වීම නිසාය.
විශේෂයෙන් රතු වරෙන්තු යටතේ විදේශීය පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බාරදුන් අවස්ථා ඉතා සීමිතය. බොහෝදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ තම රටට පැමිණි පසුවය. ඒ නිසා කවුරැ මොනවා කීවත් මේ විදේශිකයන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම ලේසි පහසු නැත. එසේ ගැනීම ගෙම්බන් අල්ලනවා හා සමානය.
කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් ගැන ගැටලුවක් ඇත. එනම් මහ බැංකු මගඩියට විමර්ශන කොමිසමක් ක්‍රියාත්මක කර තිබියදීත් ඔහුට මෙරටින් පැනයාමට දොරවල් විවෘත කර දුන්නේ කෙසේද යන්නය. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය තහනම් කිරීමේ බලයක් තිබ්බත් එය සිදුකළේ නැත. අවසානයේ ඔහු පැදුරටත් හොරා පැන ගියේය. දැන් ඇත්තේ එකම විකල්පයකි. ඒ 1958 නිව්යෝක් සම්මුතියට අනුව අදාළ රටට වූ හානිය සහ පාඩුව අයකර ගැනීමය. එයද ලෙහෙසි පහසු වන්නේ නැත. එසේ කිරීමට ඔහුගේ දේපල වත්කම් ගැන දැනුවත්කමක් තිබිය යුතුය. එම ක්‍රමය විනා මේ ආත්මෙට අර්ජුන් මහේන්ද්‍රන් මේ පොළවේ පස් පාගන්නට එන්නේ නැත. කොහොම වුණත් අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීමට හෝ වැට ගැසුවාට වැඩක් නැත. දැන් අශ්වයා පැන ගොස්ය. දැන් මොන වරෙන්තු දැම්මත් මේ අශ්වයන් ඇල්ලීම හීනයක් පමණි.
9,226 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad