බොලිවුඩ් නිළි ශ්‍රීදේවී හදිසි හෘදයාබාධයකින් මියයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 25, 2018

බොලිවුඩ් නිළි ශ්‍රීදේවී හදිසි හෘදයාබාධයකින් මියයයි



බොලිවුඩ් නිළි ශ්‍රීදේවී 
හදිසි හෘදයාබාධයකින් මියයයි

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය.
මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ විවාහ උත්සවයක් සඳහා වන අතර එයට  සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය.
ශ්‍රී දේවිගේ සැමියා වන්නේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් වන අතර ඇයට දියණියන්
දෙදෙනෙකි.
නමසිය අසූව දශකයේ හින්දි සිනමාවේ රැජිණිය ලෙස බැබළුණ ශ්‍රී දේවී නූතන බොලිවුඩ් සිනමාවේ වර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් දායක කළ නිළියකි.

චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට එක්ව හින්දි සිනමාවට අමතරව දමිළ, තෙලිඟු, මලයාලම්, කර්නාටක චිත්‍රපටවලද කැපී පෙනෙන රංග දායකත්වයක් ඇය සිදු කර ඇත.
සාද්මා (1983), නාගිනා (1986), මිස්ටර් ඉන්දියා (1987), චාන්දනී (1989) , චාල්බාස් (1989), ලාඩ්ලා (1994) ,ජුදායි (1997) බොලිවුඩ් චිත්‍රපට වල එකදිගට රඟපා දරුවන්ගේ කටයුතු නිසා රංගනයෙන් කාලයක් ඉවත්ව සිටි ඇය නැවත 2012 වසරේදී ඉංග්ලිෂ් වින්ග්ලිෂ් චිත්‍රපටය සමග යළි රංගයට එක්වූ අතර මියයන අවස්ථාව වනවිටත් චිත්‍රපට රංගනයෙහි නිරතවෙමින් සිටියාය.
2013 වසරේදී ඉන්දීය රජය ඇයට පද්ම ශ්‍රී සම්මානය පුදනු ලැබුවේ සිනමාවට දැක්වූ මෙහෙවර වෙනුවෙනි. ඇගේ සමුගැනීම වාර්තාවූ සැණින් ඉන්දීය අගමැති මෝදි සිය ට්විටර් ගිණුම ඔස්සේ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණි.



No comments:

Post a Comment

Post Bottom Ad