ලසන්ත ඝාතන අවිය ගෙනා ආයුධ වෙළෙන්දා CID ය සොයයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 12, 2018

ලසන්ත ඝාතන අවිය ගෙනා ආයුධ වෙළෙන්දා CID ය සොයයි !

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අභිරහස් ලෙස ඝාතනය කිරීමට යොදා ගන්නා ලද විශේෂිත ගිනි අවිය ආයුධ ආනයන කරන සමාගමක් විසින් මෙරටට ගෙන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වේ.


හමුදාවට අවි සපයන සමාගමක් විසින් එය ගෙන්වා ඇති බවට සැකකෙරෙන අතර එය අනෙකුත් යුද අවි අතර සඟවා ගෙනඑන්නට ඇති බවට ද සැකකරයි. එම සුවිශේෂී ගිනි අවිය ප්‍රහාරය එල්ල කරද්දී ස්වංක්‍රීයව ක්‍රියාත්මක වී එකවර තියුණු උල් පහක් ඉදිරියට විත් ප්‍රහාරය සිදු වෙයි. 

මෙවැනි සුවිශේෂි ගිනි අවියක් මෙරට ත්‍රස්තවාදී කණ්ඩායම්වලට හෝ නොතිබු බවට ආරක්ෂක බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබුණි. ජාත්‍යන්තරයේ ඇතැම් දරුණු යුදකරුවන් අතට පමණක් පත්ව තිබූ එම ගිනි අවිය මීට පෙර මෙරට කිසිම ස්ථානයක පාවිච්චිකර ඇති බවට කිසිදු තොරතුරක් නොතිබිණි.

අවිය ආ කාලේ හමුදාපති ෆොන්සේකා

අදාළ අවිය ලංකාවට පැමිණ ඇති බවට සැකකෙරෙන කාලසීමාවේදී යුද හමුදාපතිවරයාව සිට ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. මීට වසර 09කට පෙර එනම්, 2009 වසරේ ජනවාරි 08 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතකයන් දෙදෙනෙකු විසින් උල් ආයුධයකින් ඇන ලසන්ත වික්‍රමතුංග මහතා අමානුෂික ලෙස ඝාතනයට ලක්කර තිබිණි.

ඒ මහතා සිය නිවසේ සිට එදින පෙරවරුවේ අත්තිඩියේ පිහිටි සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය වෙත සිය මෝටර් රථයෙන් යමින් සිටියදී යතුරුපැදියකින් ඔහු ලුහු බැඳ ගිය පුද්ගලයන් දෙදෙනෙක් අත්තිඩියේ පිහිටි ද්‍රවිඩ පාසලක් ආසන්නයේදී පාර හරස්කර මෝටර් රථය නවත්වා මෝටර් රථයේ රියැදුරු අසුන දෙසින් ගොස් එහි වීදුරුව පසාරු කරගෙන යන පරිදි එම ස්වයංක්‍රිය ආයුධයෙන් ප්‍රහාර‍යක් එල්ල කර ඒ මහතාට බරපතළ තුවාල සිදු කරමින් ඝාතනය කර තිබිණි.

එම දරුණු ගිනි අවිය ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය කිරීමේ භයානක සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහාම මෙරටට ගෙන එන ලද බවට ද සැකකෙරේ. කෙසේවුවද, ලසන්ත ඝාතනයෙන් පසුව එම ආයුධය විනාශකර හෝ වළදමන්නට ඇති බවට ද සැකයක් පවතී. මෙම අවිය, අවි ආනයනය කරන්නෙකු විසින් දරුණු අපරාධ සඳහා යොදා ගැනීමට ආනයනය කොට එය හදිසියේ ලසන්ත ඝාතනය සඳහා යොදා ගත්තක්ද විය හැකි බවට ද තවත් සැකයක් ඇතැයි පැවසේ.

මූලාශ්‍රය - දිනමිණ

No comments:

Post a Comment

Post Bottom Ad