ඩීසල්-භූමිතෙල් ජාවාරම යටගහන මෙහෙයුමක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

ඩීසල්-භූමිතෙල් ජාවාරම යටගහන මෙහෙයුමක්.

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මංකොල්ලයක් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබියදීත්, එම විමර්ශන යටපත් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව අනාවරණය වේ.

සංස්ථාවට අයත් කුරුණෑගල ගබඩාවට යවන ලද ඉන්ධන බවුසරයක ටැංකි හයෙන් දෙකක ඩීසල් වෙනුවට භූමිතෙල් පටවා තිබී ඇත. එහෙත් මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයෙන් මේ බවුසරය පිටත් වී ඇත්තේ බවුසරයේ ටැංකි හයේම ඩීසල් පුරවාගෙන ය. ඒ අනුව ටැංකි දෙකේ අඩංගු වූ ඩීසල් ලීටර් 6,600 ක් එයින් ඉවත් කර භූමිතෙල් පුරවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

දෙසැම්බර් 31 වැනිදා මුතුරාජවෙලින් පිටත් වී ඇති මෙම බවුසරය කුරුණෑගල ගබඩාවට ගොස් ඇත්තේ ජනවාරි 02 වැනිදා පෙරවරු 11.47 ට පමණය.  මුතුරාජවෙල සිට මෙම ගමනට බවුසරයකට ගතවන්නේ පැය හයකට ආසන්න කාලයකි. එසේ තිබියදී මේ ආකාරයට අදාළ බවුසරය වැඩි කාලයක් ගැනීම සහ භූමිතෙල් පිරවීම පිටුපස දැවැන්ත ජාවාරමක් ඇතැයි අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍යයෙන් ඩීසල් ලීටරයක මිල රුපියල් 95 කි. ඒ අනුව ඩීසල් ලීටර් 6,600 ක් අතුරුදන් කිරීමෙන් රුපියල් 627,000 ක් වංචා කර ඇති බව අනාවරණය වී තිබියදීත්, මීට අදාළ විමර්ශන පොලීසියට භාර නොදී සංස්ථාවේ විමර්ශන අංශය භාරයේ තබාගෙන ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සිද්ධියට අදාළ ව බවුසරයේ හිමිකාර පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නැත. බවුසරයේ හිමිකරු ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවද වාර්තා‍ වේ. මේ සම්බන්ධයෙන් විමසීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ නිසාය.

No comments:

Post a Comment

Post Bottom Ad