අක්මාවෙන් 10%ක් දුන් මිනිසාගෙන් 68%ක් හොරකම් කලා කියන චෝදනාවට නාමල් උඩුගම කියන දේ මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 1, 2018

අක්මාවෙන් 10%ක් දුන් මිනිසාගෙන් 68%ක් හොරකම් කලා කියන චෝදනාවට නාමල් උඩුගම කියන දේ මෙන්න..

ගීත ලෝලී තරුණ තරුණියන්ගේ සිහින කුමරකු බවට කලක් පත්ව සිටි ගායන ශිල්පී නාමල් උඩුගම මීට වසර තුනකට පමණ පෙර දැඩි ලෙස රෝගාතුරවූ පුවත ඔහුට ඇළුම් කළ සැමට දරාගත නොහැකි තරම් වූ කනගාටුදායක එකක් වුණා. 

අක්මාවේ ආබාධයක් හේතුවෙන් දැඩිලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මනින්ම අක්මාවේ කොටසක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දිය යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර තිබුණා. විශාල මුදලක් වැයවන ශල්‍යකර්මයක් වූ ඒ සඳහා නාමල්ට ආදරය කළ රසික රසිකාවියන්ගෙන් විශාල වශයෙන් මූල්‍යමය ආධාරද ලැබි තිබුණා. එමෙන්ම කලාකරුවන් එක්ව නාමල්ට ආධාර පිණිස සංගීත ප්‍රසංග පවා සංවිධානය කර තිබුණා. ඒ සියලු දෙනාගේ ආශිර්වාද මධ්‍යයේ ඉන්දියාවේ අක්මා බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දුන් නාමල් නිරෝගී පුද්ගලයකු ලෙසයි නැවත ලංකාවට පා තැබුවේ.



ශල්‍යකර්මයෙන් පසු පූර්ණ සුවය ලැබූ නාමල් දැන් සුපුරුදු පරිදි සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. නාමල්ගේ රෝගී තත්ත්වය පිළිබඳ යටගියාව අපට මෙසේ කෙටියෙන් සිහිපත් කිරීමට සිදුවූයේ ඒ යටගියාව පිළිබඳ කිසිවකු බලා‍පොරොත්තු නොවූ ආකාරයේ හෙළිදරව්වක් මේ වනවිට කරළියට ඇවිත් තිබෙන නිසයි. 

ඒ පිළිබඳ කරුණු කාරණා මාධ්‍ය වෙත හෙළිකර තිබෙන්නේ නාමල් උඩුගමගේ ශල්‍යකර්මය සඳහා සිය අක්මාවෙන් කොටසක් ලබාදුන් ක්‍රිෂාන්ත සම්පත්. නාමල්ගේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය වෙන්නේ සිය අක්මාවෙන් 10ක කොටසක් පමණක් බවට ‍පොරොන්දු වුවද සිය අනුමැතියෙන් තොරව ඉන් 68ක කොටසක් ලබාගෙන ඇති බවට ක්‍රිෂාන්ත පසුගිය සතියේ එක්තරා සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් චෝදනා නගා තිබුණා. 

ශල්‍යකර්මයෙන් පසුව නාමල් උඩුගම සහ ඔහුගේ බිරිඳ රුවන්ති මංගලා තමන් කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් තමන් තවමත් සිටින්නේ අසනීප තත්ත්වයෙන් බවත් ඔහු පවසා තිබෙනවා. ග්‍රාම නිලධාරියකු ලෙස රැකියාව කරමින් සිටි තමන්ගේ රැකියාව අහිමි වූ බවත්, තමන් නාමල්ට අක්මාවෙන් කොටසක් ලබා දුන්නේ එම රැකියාව යළි ලබාදීමේ ‍පොරොන්දුව මත වුවද නාමල් එම ‍පොරොන්දුව ඉටු නොකළ බවටත් ඔහු චෝදනා නගා තිබෙනවා. ඔහුගේ මෙම හෙළිදරව්ව, සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් ප්‍රචාරය වීමත් සමග මේ වනවිටත් බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් නාමල්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටිනවා. 

මෙම චෝදනා නාමල්ගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ මෙවැනි කතාවක්.

මගේ ශල්‍යකර්මය වෙනුවෙන් අක්මාවෙන් කොටසක් දුන් ක්‍රිෂාන්ත මට මුණ ගැහුනේ මීට අවුරුදු දෙකහමාරකට විතර පෙරයි. මගේ අසනීප තත්ත්වය ගැන පුවත්පතක පළවූ ලිපියක් දැකලයි ඔහු මුලින්ම මට කතාකළේ. ඔහු ග්‍රාම නිලධාරියෙක් කියලයි කිව්වේ. අක්මාවෙන් කොටසක් දෙන්න නම් ඒ සඳහා මුදලක් අවශ්‍ය බව ඔහු කිව්වා. ඒ වෙලාවේ කිව්වේ ත්‍රීවීල් එකක් මිලදී ගන්න ලක්ෂ හතක් ඔහුට ඕනෑ කියලයි. ‍ලේ වර්ගය එහෙම සසඳලා බලද්දී ගැළපුන නිසා ලංකාවේදී කරන්න තිබුණු වැඩකටයුතු නිමකරලා අපි ශල්‍යකර්මය සඳහා ඔහුත් එක්ක ඉන්දියාව බලා ගියා. 

එහිදී මාසයක් පමණ රෝහලෙත් තවත් තැනකත් නැවතිලා හිටියා. ඉන්දියාවේදී අපි ඔහුට සැලකුවේ නෑ කියලා කියන්නේ බොරුවක්. අපට පුළුවන් උපරිම විදියට අපි ඔහුට සැලකුවා. ඔහු මට කළේ ලොකු උදව්වක්. ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. මොකද අද මම ජීවත් වෙන්නේ ඔහු නිසයි. මම ඒ වෙනුවෙන් ඔහුට ප්‍රතිඋපකාර කළා. ඒත් ඔහු මා ගැන ප්‍රකාශය කරලා තියෙන තොරතුරුවලින් මට විශාල හානියක් සිදුවෙලා තියෙනවා. මේ සිදුවීම නිසා සමාජ ජාලා මාධ්‍ය හරහා ගොඩක් අය මට බනිනවා. ඔවුන් සත්‍යය දැනගත යුතු නිසයි මම මේ කාරණා ටිකවත් හෙළිකළ යුතුයි කියලා හිතුවේ.

ඔපරේෂන් එක කරන්න දවසකට කලින් ඔහු හැංගිලා ඉඳලා කතා කරලා කිව්වා ඔහුට ලක්ෂ 20ක් ඕනෑ කියලා. ඒ වෙලාවේ මගේ බිරිඳත් හුඟක් අසරණවෙලයි හිටියේ. ඒ වෙනකොට මට හරියට සිහියක් පවා තිබුණේ නැහැ. ඔහුගේ ඉල්ලීමට එකඟ වෙලා ඔපරේෂන් එකේ වැඩකටයුතු අවසන් කළා. ඔහු නිරෝගී තත්ත්වයෙන් තමයි රෝහලෙන් පිටවුණේ. ඒ වෙනකොට ඔහුගේ අක්මාව නැවත වර්ධනය වෙලයි තිබුණේ. කවදාවත් වෛද්‍යවරු කෙනෙකුගේ ජීවිතය අනතුරේ දමලා තවත් කෙනෙක් බේරා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා ඔහුව රවටලා අක්මාවෙන් විශාල කොටසක් ලබා ගත්තා කියන චෝදනාව පිළිගන්න බැහැ. 

නැවත ලංකාවට එන්න ගුවන් ටිකට් පතට මුදල් දුන්නේ නැහැ කියන කතාවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මට හිතෙන විදිහට ඔහු වෙනත් පටු අරමුණක් ඇතිවයි අද මට චෝදනා නගන්නේ. ඔහුට යම් උදව්වක් අවශ්‍ය වෙලා තිබුණා නම් ඒ බව මට කෙළින්ම කියන්න තිබුණා. ඔහුට ‍පොරොන්දු වූ ලක්ෂ 20ක මුදලත් අපි ඔහුට දීලයි තියෙන්නේ. මම හිතනවා මගේ රසික රසිකාවියෝ මෙහි සැබෑ තත්ත්වය වටහා ගනී කියලා.

මංජුල පෙරේරා
– Lakbima

No comments:

Post a Comment

Post Bottom Ad