‘තරග 05යි.. ලකුණු 450යි.. කඩුලු 18යි..දක්ෂතා නෑ කියන්නේ කොහොමද?.අඩු තරමින් මාව ස්කොඩ් එකටවත් දැම්මේ නැහැ’. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

‘තරග 05යි.. ලකුණු 450යි.. කඩුලු 18යි..දක්ෂතා නෑ කියන්නේ කොහොමද?.අඩු තරමින් මාව ස්කොඩ් එකටවත් දැම්මේ නැහැ’.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වෙමින් එක් දින හා පන්දු වාර විස්සයි විස්ස පිටිය තුන් ඉරියව්වෙන්ම වර්ණවත් කළ ඔහු ජීවන් මෙන්ඩිස්. ක්‍රීඩාපිටියේ දඟකාර චරිතය ඔහු කිව්වොත් හරි. මිට වර්ෂ දෙකහමාරකට පමණ පෙර අබාධයක් හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් ඔහුට ඉවත් වෙන්න සිදු වුණා. 

නමුත් ඔහුගේ දක්ෂතා පසුගිය කාලය පුරාවටම ක්‍රීඩා සමාජ තරග ඔස්සේ දැකගන්න ලැබුණත් ඔහුගේ දක්ෂතා ජාතික කණ්ඩායම තුළින් දකින්න ලැබුණේ නැහැ. ඒ ගැන වගේම ඔහුගේ අලුත් තොරතුරු ගැනයි මේ.

ජීවන් අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ගොඩක් ඇති නේද..?

කොහොම හරි මේ අවුරුද්දෙවත් ජාතික කණ්ඩායමට යළිත් ඇතුළත් වෙන්න තමයි මම උත්සහ කරන්නේ. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව හා ඉලක්කය.

වර්ෂ දෙකහාමාරකින් පමණ ඔබව ජාතික කණ්ඩායමෙන් දකින්න ලැබුණේ නැහැ…?

ඔව්. මිට අවුරුදු දෙකහමාරකට කලින් තමයි මට අවසන් වරට ජාතික කණ්ඩායමට එකතු වෙන්න ලැබුණේ. ඒත් එක්කම මම තරගයක් අතරතුර ආබාධයට ලක් වුණා. ආබාධය හේතුවෙන් තමයි ඇත්තටම ඒ කාලසීමාව තුළ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න බැරි වුණේ. නමුත් මගේ ආබාධ තත්ත්වය සුව අතට හැරුණා ටික දවසකින්. මම සුපුරුදු පරිදි පුහුණුවීම් කළා. නමුත් මාව මේ වෙනතුරුම යළිත් ජාතික කණ්ඩායමට කැදෙව්වේ නැහැ.

ඔබව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරන්න හේතුව ඔබේ දක්ෂතාවයේ මදිකමද.. එහෙම නැතිනම් වෙන හේතුවක්ද..?

මම දක්ෂතා අතරේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඒක වැරදියි කියලයි මම නම් හිතන්නේ. මොකද මේ දවස්වල ක්‍රීඩා සමාජ තරග පැවැත්වෙනවා. මම නියෝජනය කරන්නේ ටැමිල් යුනියන් කණ්ඩායම. තරග පහක් තුල මම ලකුණු 450ක් රැස් කළා කඩුළු 18ක් එක්ක.මෙතැනදී මගේ දක්ෂතා තුන් ඉරියව්වෙන්ම දකින්න ලැබෙනවා. වැඩිම දක්ෂතා දක්වා තිබෙන්නේත් මම. පසුගිය කාලයේ මගේ දක්ෂතා බැලුවොත් මගේ දක්ෂතාවල අඩුවක් තියෙනවා කියන්න බැහැ. අඩු තරමින් මාව ස්කොඩ් එකටවත් දැම්මේ නැහැ.

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වගේම තේරීම් කමිටුව වෙනස් වුණා. ඒත් ඔබට අවස්ථාවක් හිමිවෙන්නේ නැහැ කියලද හිතන්නේ. ජීවන් තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කළේ නැද්ද..?

මම තේරීම් කමිටුවත් එක්ක කතා කළා. ඔවුන් කිව්වේ මගේ දක්ෂතා එක්ක අවස්ථාවක් ලැබෙයි පොඩ්ඩක් ඉන්න කියලා විතරයි. මට තවම ප්‍රධාන පුහුණුකරුව නම් මුණගැහුණේ නැහැ. මට අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. බලමු මොකද වෙන්නේ කියලා.

මේ ප්‍රශ්න එක්ක ක්‍රීඩාවෙන් සමුගන්න කියලා බිරිඳ වාරණ දැම්මේ නැද්ද ..?

මගේ බිරිඳ වැනේසා. එයා දන්නවා මම ක්‍රිකට්වලට ගොඩක් ආදරෙයි මගේ දක්ෂතා තියෙනවා කියලා. ඒ නිසා මට කොයිම වෙලාවකවත් ක්‍රීඩාවෙන් සමුගන්න කියලා බලකරන්නේ නැහැ. පහුගිය කාලය පුරාවටම මම මානසිකව වැටිලා හිටියේ ආයෙමත් ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න බැරි වුණු නිසා. ඒ හැම අවස්ථාවකම මට හිතුණා ක්‍රිකට් වලින් අයින් වෙන්න. මම ඒ ගැන බිරිඳට කිව්වා. ඇය තමයි කිව්වේ තව ටිකක් ඉවසලා ඉන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ දිරිගැන්වීම නිසයි මම ක්‍රිකට් වලට සමුනොදුන්නේ.

ජීවන් දැන් දරුවෝ තුන්දෙනෙකුගේ පියෙක්.. වගකීම් වැඩි ඇති..?

ඔව්. ලොකු පුතා ජේඩන්. එයාට දැන් වයස අවුරුදු 7යි. දෙවනියා ජෙසුවා වයස අවුරුදු 4යි. පොඩ්ඩත් පුතෙක්. එයා ජොයෙල්. එයාට වයස අවුරුදු 2යි. මේ තුන්දෙනාම පුත්තු නිසා දගවැඩියි. ඒ වගේම වගකීමත් වැඩත් වැඩියි. මම ගෙදර ඉන්නකොට මාව මේ තුන්දෙනාම සෙල්ලමට ගන්නවා. මමත් ඒ අයත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවා. ඒ නිසා සතුටක් තියෙනවා.

ජීවන් ජාතික කණ්ඩායමේ නැහැ කියලා ක්‍රිකට් තරග නරඹන එක නතර කරලා නැතුව ඇති..?

මට පුළුවන් හැම අවස්ථාවකම මම හැම තරඟයක්ම බලනවා. එහෙම විශේෂත්වයක් නැහැ.

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණවලට වඩා පරාජයන් වැඩිපුර ලැබුවා. ඒකට හේතුවක් විදිහට ජීවන් දකින්නේ මොනවාද කිව්වොත්..?

පසුගිය කාලයේ ජාතික කණ්ඩායමට අලුත් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් එකතු වුණා. දක්ෂතා දැක්වූ අයත් හිටියා. නමුත් ඇතැම් අවස්ථාවලදී මඟහැරීම් ගොඩක් ඔවුන් කළා. ඒකට හේතුව ඔවුන්ගේ දක්ෂතාවයේ මදිකම නෙමෙයි. පළපුරුද්දේ මදිකමයි. ඔවුන් ටිකක් පරිනත වෙද්දී ඒක සාමාන්‍ය තත්ත්වයක් වෙයි කියලා හිතනවා.

හර්ෂණී වීරරත්න

No comments:

Post a Comment

Post Bottom Ad