මේජර් ජනරාල් කමල් ගුණරත්න විශ‍්‍රාම දිවිය අතහරී.. අට අනතුරේ කියා යලි සටන් පෙරමුණට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 22, 2017

මේජර් ජනරාල් කමල් ගුණරත්න විශ‍්‍රාම දිවිය අතහරී.. අට අනතුරේ කියා යලි සටන් පෙරමුණට..

තමන් 35 වසරක හමුදා සේවයෙන් ගිය වසරේ විශ්‍රාම ගත්තේ ඉතුරු ජීවිත කාලය විවේකිව ගත කරන්න වුවත් අද රටට සිදුවන දේ දුටුවිට විවේකීව ගත කිරීම නුසුදුසු බව තේරුම් ගත්තේ යයි මේජර් ජනාරල් කමල් ගුණරත්න මහතා පවසයි.

ගම්පහදී පැවති වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

යුද හමුදාවේ වසර 35ක සේවා කාලයක් අවසන් කරපු මම පසුගිය වසරේ විශ්‍රාම ගත්තා. හමුදා දිවියෙන් පසුව මගෙ ඉතුරු ජීවිත කාලය විවේකිව ගත කළ යුතුයි කියලා හිතුවා. නමුත් අපේ රටට සිදුවන දේ දුටුවාම, අපේ රණවිරුවන්ට අත්වෙලා තියෙන තත්ත්වය දැක්කාම තවදුරටත් විවේකීව ගත කිරීම සුදුසු නැහැ කියලා තේරුම් ගත්ත නිසයි අද මම තමුන්නාන්සේලා ඉදිරියට ඇවිත් ඉන්නේ. වසර තිහක යුද්ධයක් තිබුණා. හිඟන්නාගේ තුවාලය වගේ වවාගෙන කෑම නොවෙයි මම කරන්නේ. 

නමුත් සිංහලයට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති තුන හතරයි කියලා ප්‍රභාකරන් කියපු කියමන විශ්වාස කරන කෙනෙක් විදියට මේ ගැන මතක් කරන එක අපේ යුතුකමක්. ඒ යුද්ධයෙන් ඔබ විඳපු දුක මෙතෙකැයි කියන්න අපට පුළුවන්කමක් නැහැ. දිනකට අපේ සෙබළුන් මිනී පෙට්ටි  විසිපහක් තිහක් ගෙදර ආ යුගයක් තිබුණා. හමුදා ප්‍රකාශකවරයා දොළහක් මැරුණා කියලා කිව්වට මිනී පෙට්ටිකරයෝ දැනගෙන හිටියා කොච්චර පිරිසක් මැරුණද කියලා. 

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ලාගෙ නායකත්වය යටතේ අපෙ ත්‍රිවිධ හමුදා නායකයන්ගේ මඟපෙන්වීම යටතේ මේ යුද්ධය ජයග්‍රහණය කරන්නට අපට හැකියාව ලැබුණා. මාවිල්ආරුවෙන් 2006 පටන් ගත්ත යුද්ධය 2009 නන්දිකඩාල්වලින් අවසන් කළා. අවසන් යුද්ධය පැවැති වසර දෙකකුත් මාස නවයක් තුළ යුද හමුදාවේ පමණක් නිලධාරීන් සහ සෙබළුන් පන්දහස් නවසිය ගණනක් මිය ගියා. විසිනවදහස් ගණනක් තුවාල වුණා. ඒකෙනුත් දස දහසක් පමණ අපි මේ කතා කරන අවස්ථාවේදිත් හුස්ම ගැනීමට පමණක් සීමා වෙලා ඇඳන් උඩට වෙලා ඉන්නවා.

යුද්ධයට නායකත්වය දීපු නිලධාරිනුත් අපිත් එක්ක සටන් කරපු සෙබළුනුත් තරුණ කාලයම ගත කළේ ඔබටත් ඔබේ දරුවන්ටත් අනාගතයේ සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන්නයි. අද සෙබළුන්ගේ මළ මිනී ගම්වලට යන්නේ නැහැ. උතුරේ දරුවන් ළමා සොල්දාදුවන්ලෙස පැහැරගෙන යන්නේ නැහැ. අද මොනවද තියෙන්නේ කියල ඔබේ හදවතට තට්ටු කරලා අහලා බලන්න. අද තියෙන්නේ යුද අපරාධ චෝදනා, දඬුවම් කිරීම. දෙමළ ජාතීන් ඇතුළු සුළු ජාතීන්ගේ ප්‍රශ්න මුවාවෙන් රට බෙදීම. 

එහෙමනම් දෙවියනේ ඇයි අපි මෙහෙම කැපකිරීමක් කළේ? අපි ඔය කියන විදියට කාන්තාවන දූෂණය කරන්න හෝ යුද අපරාධ කරන්න කටයුතු කළා නම් හෝ සෙබළුන්ට ඒවාට ඉඩ දුන්නා නම් මගේ අම්මා මාව පුතෙක් විදියට ගෙට වැද්ද ගනියිද කියලා කල්පනා කරන්න. අපි ඒ වගෙ පහත් විදියට දුෂ්ඨ වැඩ කරපු හමුදාවක් නොව ඉතාමත් ගෞරවණීය විදියට කටයුතු කරපු හමුදාවක්. අපි රටට ණය නැති හමුදාවක සමාජිකයන් පිරිසක් මිසක් යුද අපරාධකරුවන් නොවෙයි. ඔබ අත්පොළොසන් දුන්නේ හදවතින්ම බව මට දැනුණා. මට තියෙන ප්‍රශ්නය තමයි ඔබට තිබෙන ඒ හැඟීම අද පාලකයන්ට නැත්තේ ඇයි කියන එකයි.

No comments:

Post a Comment

Post Bottom Ad