පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ නොමනා හැසිරීම වර්තමාන දේශපාලන සංස්කෘතියේ පරිහානිය සළකුණු කරන්නකි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ නොමනා හැසිරීම වර්තමාන දේශපාලන සංස්කෘතියේ පරිහානිය සළකුණු කරන්නකි

Election_Point_D

යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ පෙරගමන්කරුවන් වන්නේ ජනතා නියෝජිතයන්ය. උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පුංචි ආණ්ඩුව හෙවත් ප‍්‍රාදේශීය සභාව දක්වා ජනතා නියෝජිතත්වය දරන සභිකයෙක් දක්වා වූ සෑම මහජන නියෝජිතයෙක් වෙත ම මෙකී වගකීම පැවරී ඇත. ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක ඡන්දදායකයන් එකී මහජන නියෝජිතයන් වෙත තම කැමැත්ත ලබාදෙනු ලබන්නේ යම් නිශ්චිත කාලසීමාවක් සඳහාය. එය ඡන්දදායකයා සහ මහජන නියෝජිතයා අතර පවත්නා ගිවිසුම්ගත බැඳීමක් හා සමානය. 

ඕනෑම රටක දිශානතිය තීරණය කිරීමේ තීරක සාධකය වන්නේ රටෙහි ප‍්‍රතිපත්තිමය තීරණ ගන්නා මහජන නියෝජිතයන්ය. මේ අනුව ඔවුන්ගේ දේශපාලනික මැදිහත්වීම පමණක් නොව හැසිරීම පවා රටක අනාගතය තීරණය කිරීමෙහිලා තීරණාත්මක බව පෙනීයයි. එහෙත් දැන් දැන් මහජන නියෝජිත ආයතන තුළින් අසන්නට ලැබෙන ප‍්‍රවෘත්තීන් තුළින් හැගී යන්නේ බහුතරයක් මහජන නියෝජිතයන් රටෙහි අනාගත ඉරණම පරදුවට තබා ක‍්‍රියාකරන බවයි. 

කෙටිකාලීන දේශපාලන වාසි මෙන්ම පෞද්ගලික ලාභාපේක්‍ෂාවන් පෙරදැරිකර ගනිමින් ක‍්‍රියා කරනු ලබන මහජන නියෝජිතයන් අතලොස්සක් නිසා මෙරටේ දේශපාලන සංස්කෘතිය ක‍්‍රමයෙන් පරිහාණියට පත්වෙමින් තිබීම සමාජ සාධාරණත්වය හා රටෙහි ප‍්‍රගතිය අපේක්‍ෂා කරන පුරවැසියන්ගේ සංවේගයට හේතු වී ඇත.ඉහත කී නරක පූර්වාදර්ශ පිළිබිඹු කරන ප‍්‍රමුඛතම ආයතනය ලෙස පුරවැසියන්ගේ නිරීක්‍ෂණයට ලක්ව ඇත්තේ උත්තරීතර පාර්ලිමේන්තුවයි. 

කාලාන්තරයක් තිස්සේ යම් යම් සිදුවීම් වාර්තා වුවද මෑත කාලයේ තරම් පාර්ලිමේන්තු වරප‍්‍රසාද අවතක්සේරුවට හා අවභාවිතයට ලක් වූ වෙනත් කාලසීමාවක් නැති තරම්ය. මෙරටේ මහජන නියෝජිතයන් සමහරෙක් වරෙක උත්තරීතර පාර්ලිමේන්තුව තුළ රැයක් පහන් කරන ලද අතර විනෝද ක‍්‍රීඩාවල යෙදෙමින් කෙළිදෙලෙන් කාලයගත කිරීමට මෙරටේ උත්තරීතර ව්‍යවස්ථාදායකයේ පරිශ‍්‍රය තෝරා ගැනීමට තරම් ඔවුහු වගකීම් විරහිත වූහ. එකී වැරදි පූර්වාදර්ශයේ සෙවනැල්ල මෙරටේ පළාත් සභා වෙතට ද වැටී ඇති බව දැනුම් දීමට සිදුව ඇත්තේ අතිශය කණගාටුවෙනි. 

යම් පනතක් හෝ වෙනත් විවාදාත්මක කරුණක් අරබයා විරෝධය පළ කිරීමේ මාර්ග බොහෝ පැවතිය ද මෑත කාලීනව අප අත්දකින සුලභ දසුනක් වී ඇත්තේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් සභාගර්භයේ තබා ඇති සෙංකෝලය ඉවතට ගෙනයාමයි. එලෙස සෙංකෝලය රැගෙන පළා යාමට උත්සාහ කරන අවස්ථාවේදී සිදුවිය හැකි ආසන්නතම ප‍්‍රතිඵලය වන්නේ එය කැඞීගොස් බරපතල හානි සිදුවීමයි.

මහජන නියෝජිත ආයතනයක සෙංකෝලයක් තැබීම මගින් සංකේතාත්මකව දක්වන්නේ එවන් ආයතනයක් සතුව පවත්නා අසහාය ප්‍රෞඩත්වයයි. හසරක් නොදන්නා කුඩා දරුවන් සේ සෙංකෝලය රැුගෙන සභාවෙන් පළායාමත්, යළිත් සභාවට පැමිණ, මහජන නියෝජිතයෙක් විසින් නොකටයුතු යැයි කවර හෝ පුරවැසියෙක් උපකල්පනය කරන සදාචාරත්මක නොවන චර්යාවන්හී නිරතවීමත් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ විලාසිතාවක් වී ඇත. 

එවන් දසුන් නිරතුරුව ඇස ගැටෙන මෙරටේ අනාගත පරපුර වන පාසල් ළමුන් හා තරුණ ප‍්‍රජාව වෙත එතුළින් සන්නිවේදනය වන්නේ මෙරටේ මහජන නියෝජිතයන් වගකීම් විරහිතව රටෙහි අනාගතය උගසට තබමින් කටයුතු කරන පිරිසක් ලෙස යැයි පැවසීම අසාධාරණ නැත. ඒ අනුව සියලූ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වෙත කෙරෙන ආයාචනය වන්නේ, මෙවැනි බොළඳ ක‍්‍රියාමාර්ග පසෙකලා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි. 

එමෙන්ම එවන් චර්යාවන්හි නිරත පළාත් සභා මන්ත‍්‍රීවරුන් පාලනය කිරීම සඳහා මෙන්ම ඔවුන්ට එරෙහි විනය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ද අදාළ දේශපාලන පක්‍ෂ නායකයන් වහා පෙළඹෙනු ඇතැයි යන්න අපගේ අපේක්‍ෂාවයි. තවද මෙවැනි ක‍්‍රියාමාර්ග වළකාලමින් සුපසන් පළාත් සභා සැසිවාරයක් පැවැත්වීමට අවශ්‍යවන්නේ යැයි හැගෙන ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් ද කටයුතු කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මාර්තු 12 ව්‍යාපාරය යනු සිවිල් සංවිධාන, විද්වත්, ව්‍යාපාරික ප‍්‍රජා, ආගමික සහ තරුණ සංවිධාන/ආයතන සමුදායකින් සැදුම්ලත් ස්වේච්ඡා බහුජන ව්‍යාපාරයකි. සංවිධානගත සාමාජිකත්වයෙන් ඔබ්බට ඒ ඒ ක්ෂේත‍්‍රයන් තුළ ප‍්‍රමාණික දායකත්වයක් සපයා ඇති පිරිස් පුද්ගලික මට්ටමින් ද මෙකී ව්‍යාපාරයේ සක‍්‍රීය සාමාජිකයන් ලෙස කටයුතු කරයි. මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් බිහිකරන ලද මාර්තු 12 ව්‍යාපාරය තම සමාජ ක‍්‍රියාකාරීත්වය අරඹන ලද්දේ සියලූ දේශපාලන පක්‍ෂ නායකයන්ගේ එක`ගත්වයෙන් ප‍්‍රකාශිත මාර්තු 12 ප‍්‍රකාශනය එළිදැක්වීමත් සමගිනි. ඒ වසර 2015 මාර්තු මස 12 වැනිදාය.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය

රෝහණ හෙට්ටිආරච්චි - පැෆ්රල් සංවිධානය, චාමින්ද රාජකරුණා, නිශාන්ත ප‍්‍රිතිරාජ් - සර්වෝදය ශ‍්‍රමදාන සංගමය , ආචාර්ය පී.ඒ.කිරිවන්දෙණිය, සමාධානි කිරිවන්දෙණීය, නවින්ද්‍ර ලියනාරච්චි - සණස ව්‍යාපාරය, මනෝරි කලුගම්පිටිය- රයිට්ස් නව් සාමුහිකය, අශෝක ඔබේසේකර, ශෂී ද මෙල් - ශී‍්‍ර ලංකා ට‍්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල්, ආතාවුද ජයවර්ධන - විද්වත් වෘත්තීකයන්ගේ සංගමය, හේමන්ති ගුණසේකර - ශි‍්‍ර ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය, දයා හේරත් - ලක්බිමේ මවුවරු සහ දියණියෝ, සමන් හමන්ගොඩ - පැල්ට‍්‍රා සංවිධානය, මංජුල ගජනායක - මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානය, විමල් ප‍්‍රනාන්දු - මානව හිමිකම් සුරකීමේ සංවිධානය, ජගත් ලියනාරච්චි, තිස්ස විජේතුංග , ආරියපාල ගමගේ - රාජ්‍ය නොවන සංවිධාන ජාතික කි‍්‍රයාකාරී පෙරමුණ.

No comments:

Post a Comment

Post Bottom Ad