භයානක ඝාතන කුමන්ත්‍රණයක් බඩුත් එක්ක හෙළි වුණ හැටි මෙන්න, පොලිස් ඇඳුනුත් ගෙනත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 16, 2017

භයානක ඝාතන කුමන්ත්‍රණයක් බඩුත් එක්ක හෙළි වුණ හැටි මෙන්න, පොලිස් ඇඳුනුත් ගෙනත්

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණීය දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාල කල්ලි නායකයාව පොලිස් නිල ඇඳුමින් ගොස් ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලිය විසින් කළ සැලසුමක් හෙළි වී තිබේ. දෙමටගොඩ චමින්ද නමැති පාතාල කල්ලි නායකයාට එරෙහිව විභාග වන වෙනත් නඩුවක් සඳහා අධිකරණයට ඔහු රැගෙන එන අවස්ථාවකදී ඝාතනය කිරීම මධුෂ්ගේ කල්ලියේ සැලසුම වී ඇතැයි හෙළි වී ඇත.

සයනයිඩ් විෂ එන්නත් කිරීමකින් හෝ වෙඩි තැබීමකින් එම ඝාතනය කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබෙන බව සඳහන්ය. පොලීසියේ ප්‍රමුඛතම බුද්ධි අංශයක් වන පොලිස් විශේෂ කාර්යාංශයේ කැලණිය කොට්ඨාශ ඒකකයේ නිලධාරීන්ගේ තොරතුරකට අනුව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (15) සොයා ගත් පොලිස් නිල ඇඳුම එම ප්‍රහාරයට යොදා ගැනීමට සූදානම් කර තිබුණු බවද අනාවරණය වී තිබේ. එම සැලසුම් භාරව සිට ඇත්තේ මංකොල්ලයකට සූදානමින් මීගමුවට යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි හුවමාරුවකින් අනතුරුව කුරනදී අත්අඩංගුවට ගත් ජනක අරුණ ශාන්ත නමැති නාවික හමුදාවෙන් ඉවත්ව මධුෂ්ගේ පාතාල කල්ලියට එකතු වී සිටින පුද්ගලයාය.

දෙමටගොඩ චමින්ද මරණීය දණ්ඩනයට නියම වී සිටියත් බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම සහ ඔහුගේ පාතාල කටයුතු මෙහෙයවන බව පොලිස් බුද්ධි අංශ අනාවරණය කරයි. මධුෂ්ගේ මත්කුඩු ජලයෙන් පිටස්තර වෙනත් ජාලයක් සමඟ දෙමටගොඩ චමින්දගේ මත්කුඩු ජාලය ක්‍රියාත්මක බැවින් එම මත්කුඩු ජාලය බිඳදමා එහි බලය අත්පත් කර ගැනීමට මධුෂ්ට අවශ්‍යව ඇති බව බුද්ධි අංශ හෙළි කරගෙන තිබේ. අංගොඩ ලොක්කා, බ්ලුමැන්ඩල් සංඛ, ආමි සම්පත් යන පාතාලයේ අපරාධකරුවන් රැසක්ම සම්බන්ධව සිටින්නේ මධුෂ්ගේ මත්කුඩු ජාවාරම හරහාය. ඔවුන් සියලු දෙනාම දෙමටගොඩ චමින්දගේ කල්ලිය සමඟ නිරන්තර ගැටුම් ඇතිකර ගනිති.

2016 වසරේ මාර්තු 02 දා දෙමටගොඩ ඉන්ග්‍රම් හන්දියේදී දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමේ අරමුණින් ඔහුව රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයකට පවා බ්ලුමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ගේ කල්ලිය වෙඩි තබන ලදී. එහිදී දෙමටගොඩ චමින්දගේ පාදයකට පමණක් වෙඩි වැදී දිවි බේරී තිබිණි. කටුනායක කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ වෙඩි හුවමාරුවකින් පසු අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායකයා ඇතුළු හතර දෙන සමඟ සිටි තවත් පාතාල සැකකරුවකු වැන් රන්දීර් කෞශල්‍ය නැමැත්තා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් කඩවත ප්‍රදේශයේ නිවෙසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ වෙඩි හුවමාරුවේදී තරිඳු මදුෂ නමැත්ත අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ඔහුගේ නිවෙසට ගිය රන්දීර් කෞශල්‍ය නැමැත්තා ටී.56 ගිනි අවියක්, පොලිස් උඩුකය ඇඳුමක්, උප පොලිස් පරීක්ෂකවරයෙකු පළඳින හරස් නිල පටියක්ද රැගෙන පලාගොස් තිබිණි. එම සැකකරුගේ හොරණ ප්‍රදේශයේ පිහිටි අනියම් බිරියගේ නිවෙසේ සඟවා තිබු එම බඩු තොගයෙන් කොටසක් සොයාගෙන ඇති අතර ටී.56 ගිනි අවියක් සමඟ පතරොම් 06 ක්. පතරොම් මැගසින් එකක්, ජංගම දුරකතන තුනක්ද, පොලිස් නිල තොප්පියක්ද සොයාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

පසුගිය සෙනසුරාදා ඇති වූ එම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන දැනට ලබන 18 දා දක්වා රැඳවුම් නියෝග මත තබා ගෙන ප්‍රශ්න කරගෙන යන පාතාල සැකකරුවන් දෙදෙනාගෙන් මිගමුව පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රශ්න කර ගෙන යන අතර, එම පාතාල කල්ලිය සිදු කළ ඝාතන කීපයක සහ මංකොල්ලකෑම් ගණනාවක තොරතුරු හෙළි වී බවද පොලීසිය සඳහන් කළේය. ඩුබායිහි සැඟ වී සිටින පාතාල නායකයකු වන මධුෂ් නැමැත්තා දැනට අත්අඩංගුවේ සිටින ඔහුගේ අනුගාමිකයකු වන වජිර කුමාර නමැති සැකකරු සහ තවත් පාතාල සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී බන්ධාගාරය තුළ සිට මත්ද්‍රවය ජාවාරම් මෙන්ම කොන්ත්‍රාත් මිනීමැරුම් මෙහෙය වූ අන්දම ගැනද තොරතුරු හෙළිවන්නට පටන් ගෙන ති බවද පරීක්ෂණ මෙහෙය වැන් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ඊයේ අළුයම කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පාතාල සැකකරුගෙන්ද පොලීසිය ප්‍රශ්න කර ගෙන යයි. පෑලියගොඩ විශේෂ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද්‍ර ලාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ සහ කැලණිය ප්‍රදේශය භාර පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ජනයුගය – 2017.08.16

No comments:

Post a Comment

Post Bottom Ad