ඒකාබද්දයේ කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර දෙන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 16, 2017

ඒකාබද්දයේ කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර දෙන්න සූදානම්..

හොරකමෙන්, පාදඩකමෙන් සහ පාවාදීම්වලින් පිරුණු ආණ්ඩුවකට එකතු වීමට තරම් මොළේ අමාරුවක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට එකතු වී කැබිනට් ඇමැති ධූර ගන්නැයි රටේ ඉහළම තැන්වලින් කෙරුණු ඉල්ලීම් තඹයකට මායිම් නොකළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් බිලී බා ගැනීම එතරම් පහසු නැති බව පැවසූ රණතුංග මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී මන්ත්‍රීකම අහිමිව පියන්කමට වැටුණු අය කියන කතා එතරම් ගණන් ගත යුතු නොමැති බවත් පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී 15 සවස පැවැති රැස්වීමක් අමතමිනි. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

මහ බැංකු බැඳුම්කර වංචාව යටගහන්න ආණ්ඩුව ගත්ත උත්සාහයන් අද අසාර්ථක වෙලා තියෙනවා. හොරු අල්ලන්න කියලා ඇවිත් තියෙන්නේ කම්බ හොරු ටිකක් කියන එක අද ලෝකයට එළිදරව් වෙලා ඉවරයි. කතාවක් තියෙනවා වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල්ගහන්න එපා කියලා. අද ආණ්ඩුවට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි. අපේ රටේ පමණක් නොවෙයි ආසියාවෙත් වෙච්ච ලොකුම හොරකම තමයි මහ බැංකුවේ බැඳුම්කර වංචාව කියන්නේ. මේ වංචාව ගැන සමාජයේ කතාබහක් ඇති වුණේ ඒකාබද්ධ විපක්ෂයේ අපි නඟපු හඬ නිසයි. බැඳුම්කර මගඩිය ගැන මුලින්ම හෙළිදරව් කෙරුණේ ඩිව් ගුණසේකර මහත්තයා සභාපතිත්වය දරපු කෝප් කමිටුවෙන්.

නමුත් කෝප් කමිටු වාර්තාව විවාදයට ගන්න කලින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පසුව ජනාධිපතිවරයාම ප්‍රකාශ කර තිබුණා තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ අගමැතිවරයා බේරා ගන්නයි කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයාම පිළිගන්නවා අගමැතිවරයා වරදක් කරලා තියෙනවා කියලා. සිංගප්පූරුවේ හිටපු අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්නලා ජනාධිපතිවරයා ලවා මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ගත්තේ අගමැතිවරයායි. මුදල් ඇමැතිවරයා යටතේ තිබ්බ මහ බැංකුව තමන් යටතට අරන් මේ මහා වංචාව සිද්ධ කරන්න ඉඩ සැලසුවෙත් අගමැතිවරයායි. එහෙම නම් මේ වංචාවෙන් ගැලවෙන්න අගමැතිවරයාට බැහැ.

රවී කරුණානායක ‍බිල්ලට දීලා ඇඟ බේරා ගන්න ආණ්ඩුවට අපි ඉඩ තියන්නේ නැහැ. අපි තවදුරටත් ආණ්ඩුවට බල කරනවා බැඳුම්කර මගඩිය පසුපස සිටින මහ මොළකරුවන් හෙළිදරව් කරන්න කියලා. බැඳුම්කර කොමිසමේ කටයුතු දැන් වගේම ඉස්සරහටත් නිසියාකාරව ක්‍රියාත්මක වුණොත් තමන් පත්කරපු කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙයි. මොකද අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කෙරුවේ ජනාධිපතිවරයායි. ඒ හින්දා ජනාධිපතිවරයාට මම දන්නේ නැහැ කියලා වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. තමන් පත් කරපු අධිපතිවරයා හොරෙක් නම් ඒ හොරකම ගැන ජනතාව ඉදිරියේ කරුණු පැහැදිලි කරන්න ජනාධිපතිවරයා බැඳිලා ඉන්නවා.

අකුණ ගහන වෙලාවට එළියට දාන යකඩය වගේ රවී කරුණානායක ඇමැතිකමෙන් දොට්ට දාල අත පිහදාගන්න ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ජනතාව ඉඩ දෙන්නේ නැහැ. හොරු අල්ලනවා කියලා පොරොන්දු වෙලා බලය ගත්තා නම් හොරු අල්ලලා පෙන්නන්න ඕනේ. නැත්නම් ගෙදර යන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක අනියම් සබඳතාවක පැටලිලා ඉන්න නිදහස් පක්ෂයේ සමහරුන් දකින දවල් හීනය තමයි ඒකාබද්ධ විපක්ෂය බෙදෙන එක. මම පත්තරවල දැක්කා ශාන්ත බණ්ඩාර කියනවා ඒකාබද්ධයෙන් මන්ත්‍රීවරුන් හත්දෙනක් නිදහස් පක්ෂයට එකතු වෙනවා කියලා.

හොරකමින්, පාදඩකමෙන්, පාවාදීම්වලින් පිරුණු මේ වගේ ආණ්ඩුවකට එකතු වෙන්න තරම් මොළේ අමාරුවක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට ඇතියි කියලා මම නම් හිතන්නේ නැහැ. ඡන්දෙන් පැරදුණාම ගෙදර යන්නේ නැතුව බලලෝභීකමෙන් එල්ලිලා ඉන්න අය කියන කතා අපි ගණන් ගන්න හොඳ නැහැ. ඡන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය එහෙමත් නැත්නම් ජනාධිපති අධ්‍යක්ෂකම් ගත්ත අය වගේ නෙමෙයි ඉහළම ජනතා කැමැත්තක් හිමිවෙච්ච අපිට ආණ්ඩුවට යනවා නම් ඉහළම ඇමැතිකම් ගන්න තිබුණා. මැතිවරණ ප්‍රතිඵල ආපු දවසේ ඉඳලා අපේ දුරකතනවලට නිවනක් නෑ. ඒ තරමට ආණ්ඩුවෙන් ඉල්ලීම් ආවා.

හැබැයි අපි ජනතාව අපට දුන්න මනාපයේ ගෞරවය ආරක්ෂා කළා. මිනිස්සු අපිට ඡන්දය දුන්නේ මේ වගේ කුජීත ආණ්ඩුවකට මුක්කු ගහන්න නෙමෙයි. එක්කෝ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුවක් හදන්න, එහෙමත් නැත්නම් ශක්තිමත් විපක්ෂයක් වෙන්න. අපිට ආණ්ඩුවක් හදන්න බැරි වුණ නිසා අපි විපක්ෂයේ ඉන්නවා. ඇමැති කටුවලට ලෝභ වෙලා අපට ඡන්දය දුන් මිනිස්සු පාවා දෙන්න අපි සූදානම් නැහැ.ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ මේ රටේ මන්ත්‍රීවරුන් අතර ඉහළම පිළිගැනීමක් තියෙන මන්ත්‍රීවරුන් කණ්ඩායමක්. ඒ අය කාගෙවත් කටු ලෙවකන තත්ත්වයට වැටෙන්න සූදානම් නැති බවයි මගේ විශ්වාසය.


ඒකාබද්ධ විපක්ෂය තමයි අද ආණ්ඩුවට තියෙන ලොකුම තර්ජනය. ඒ හින්දා අපිව මර්දනය කරන්න ආණ්ඩුව වගේම නිදහස් පක්ෂයේ අයත් දත කනවා. දැන් අපි පස්දෙනකුට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න හදනවා. ජනතාව වෙනුවෙන් යුතුකම අකුරටම ඉෂ්ඨ කරන අපිව විනය පරීක්ෂණවලින් බය කරන්න බැහැ. අපට විනය පරීක්ෂණ තියනවා නම් අපි ඒවාට මුහුණ දෙන්න සූදානම්. හැබැයි ඊට ඉස්සර අපේ පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපතිවරණයේ දී පරද්දන්න එකතු වෙච්ච නිදහස් පක්ෂයේ වත්මන් සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු පිරිසට මුලින් විනය පරීක්ෂණ තියන්න ඕනැ. ඒ අය තමයි අපේ පක්ෂය විනාශ කරන්න මූලික වුණේ.

මේක හරියට අනුන්ගේ ගේක බලෙන් ලැගගෙන ගෙදර අයිතිකාරයන්ට විරුද්ධව පොලීසි යනවා වගේ වැඩක්. ඔය කට්ටිය පක්ෂයෙන් එළියට බැහැලා එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලුණේ පක්ෂය ඕනෑ නැති නිසයි. දැන් ජනාධිපති බලතල යොදාගෙන පක්ෂයේ බලය අල්ලන් පක්ෂය වෙනුවෙන් කැපවෙච්ච අපිව දංගෙඩියට දක්කන්න හදනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය දීපු ලක්ෂ 58ක් වෙච්ච අපේ පාක්ෂිකයන් ඒවට ඉඩදෙන්නේ නැහැ කියලා අපට විශ්වාසයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad