බුද්ධශාසන ඇමැතිකමත් එපා කියයි - ඇමැති ධූරයෙන් ඉවත් කළ ලිපිය විජයදාසට යවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 23, 2017

බුද්ධශාසන ඇමැතිකමත් එපා කියයි - ඇමැති ධූරයෙන් ඉවත් කළ ලිපිය විජයදාසට යවයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉල්ලීම මත අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ ලිපිය ඔහුගේ නිවසට යොමුකර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතය. ජනපතිවරයා විසින් විජයදාස මහතා ඇමැතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපියට අද(23) උදෑසන අත්සන් තබා තිබේ. කෙසේ වෙතත් මහානායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා පරිදි ජනාධිපතිවරයා විසින් බුද්ධ ශාසන ඇමැති ධූරය විජයදාස රාජපක්ෂ මහතාට තබා ගන්නා ලෙස දැනුම් දී තිබේ.

එහිදී ඇමති විජයදාස රාජපක්ෂ මහතා කියා ඇත්තේ අධිකරණ ඇමැතිකම නොමැතිව බුද්ධ ශාසන ඇමැතිකම අවශ්‍ය නොමැති බවයි.
නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව තලතා අතුකෝරල මහත්මියට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය. කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් විජයදාස මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් තිබූ අතර ඒ මහතා පිළිබඳ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේ දී ඒකමතිකව යෝජනාවක් සම්මත විය. ඒ අනුව ඔහුට ඊයේ (21) වන තෙක් ඉල්ලා අස්වීමට කාලය ලබාදුන් අතර විජයදාස මහතා ඉල්ලා අස් නොවීය. ඉන්පසු විජයදාස මහතා එම ධුර දෙකින්ම අස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙනු ලැබීය.

අවසන් වරට මෙලෙස ජනාධිපතිවරයකු විසින් බලතල භාවිත කර ඇමතිවරුන් අස්කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ අවස්ථාවේ ඉවත් කරනු ලැබුවේ මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරිය ආරච්චි යන මහත්වරුය.

No comments:

Post a Comment

Post Bottom Ad