ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී

මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ වල ගමන් වාර අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ. ප්‍රවාහන අධිකාරියේ අංශ ප්‍රධානීන් හා ප්‍රාදේශීය කළමනාකරුවන් අතර පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගනු ලැබූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරී ජගත් පෙරේරා මහතා පැවසීය.

බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මඟීන්ට ගාස්තුවට සරිලන ප්‍රවේශ පත්‍රයක් ලබා දීය යුතු බවට අනිවාර්ය කර තිබෙන බව පවසන ජගත් මහතා මඟීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට දැනටමත් දඩ ගැසීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් එයට අමතරව එම බස් රථවල ගමන් වාර අත්හිටුවීමට තීරණය කළ බවත් ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කරන බවද පැවසීය.

මේ අතර මඟීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරු සහ බස් රථ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන්ගේ සේවය විධිමත් කර ඇති බවත් ඒ අනුව සතියේ සදුදා,බදාදා සහ සිකුරාදා දිනවල බස්රථවලට ගොඩ වී ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ලෙස චක්‍රලේඛයක් මඟින් උපදෙස් දී ඇතැයි ද  සාමාන්‍යධිකාරී පැවසීය. බස් ගාස්තු වැඩි වුවාට පසු ප්‍රවේශ පත්‍ර නොදෙන බස් රථ පිළිබඳව අධිකාරියට මගී පැමිණිලි නිතර ලැබෙන බවත් පවසන ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරී ජගත් මහතා ලැබෙන මඟී පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ පවත්වා බස් රථවලට විරුද්ධව ක්‍රියා කරන බවද පැවසීය.

ප්‍රවේශ පත්‍ර නොදීම සහ බස් රථවල ගමන් කිරීමේදී සිදුවන මගී අපහසුතා පිළිබඳ අධිකාරියේ 0115559595 යන දුරකථන අංකයට දැනුම් දීය හැකි බව ද වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad