ජනපති මෛත්‍රී ඇතුළු නායකයන්ට සොහොනක හූනියමක් කරලා (PHOTOS)

පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සුසාන භූමියක තිබී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට, පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුට සහ තවත් අයකුට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.

පහළ උස්ගල්ල සුසාන භූමියේ සොහොන් කොතක් අසල තිබී මීට දින දෙකකට ඉහතදී හූනියම සහිත තඹ පත්‍රිකාව ඔවුන්ට හමුවී ඇති අතර හූනියම් කිරීමට දක්ෂ කට්ටඩියකු ගෙන්වා හූනියම සිදුකර ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න, ඒ මහතාගේ පුත්‍රයා වන තුසිත ගුණරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක, නීතිඥ අමිල දිසානායක හා රවින්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත්‍රිකාවේ දක්නට ලැබිණි.

මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නම් ලියා එහි තිරස් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප්‍රසිද්ධියට පත්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝඩි මහතා පැලඳි ජැකැට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇඳ ඇති ආකාරය දක්නට ලැබේ.

මේ සුසාන භූමියට ආසන්නයේ ඉදිකිරීමක නිරතවූ තරුණයන් දෙදෙනකු අසල වූ සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, රතු මල්, පොල්තෙල් සහ පහන් කිහිපයක් තිබෙන අයුරු දැක එම ස්ථානය පිළිබඳ විපරමින් බලද්දී සොහොන ආසන්නයේ රෝල්කර සඟවා තිබූ අඟල් දෙකක් පළල අඟල් 10ක් දිගින් යුතු තඹ පැහැති පත්‍රිකාව හමුවී තිබේ. එහි ජනාධිපතිවරයාගේ හා තවත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් සටහන්ව තිබූ නිසා එය කැබිතිගොල්ලෑව නගරයේ පදිංචි දැන උගත් අයකුට ලබාදීමට ඔවුන් කටයුතු කර තිබේ.


ඡායාරූප - හිරු


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment