කොල්ලන්ව පිස්සු වට්ටපු සොනාලි ටීචර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

කොල්ලන්ව පිස්සු වට්ටපු සොනාලි ටීචර්

• කොහොමද සොනාලි ටීචර්?
හොඳින් ඉන්නවා. කොල්ලන්ගේ ආදරෙත් මේ දවස්වල ගොඩක් හම්බෙනවා.
• දෙවැනි ඉනිමේ සොනාලි ටීචර්ට ලැබෙන්නේ කොල්ලන්ගේ ආදරේ විතරද?
කොල්ලෝ හරි ආදරෙයි මට. සොනාලි ටීචර් ෆේස්බුක් එකේ හරි ජනප්‍රියයි. කොල්ලෝ විතරක් නෙවෙයි ගොඩක් අය මට කෝල් කරනවා. සමහර වැඩිහිටි අය මට කතා කරලා කියනවා ඉස්කෝලෙ ළඟ අම්මලා කතා වෙනවලු 'කොල්ලෝ ටික සොනාලි ටීචර්ට මොනවා කරයිද දන්නේ නෑ' කියලා.
• සොනාලි ටීචර්ගේ චරිතයට ලැබෙන්නේ හිමායා බලාපොරොත්තුවෙන් හිටපු ජනප්‍රියත්වයක්ද?
ඇත්තටම මේ තරම් ජනප්‍රියත්වයක් මම බලාපොරොත්තු වුණේ නෑ. නාට්‍යයේ දෙවැනි දවසේ ෂූටින්වලට යද්දි සාරංග අයියා මගෙන් ඇහුවා මට ලැබුණු චරිතය හොඳද කියලා. එයා මට කිව්වා මේ චරිතය හිට්වෙයි කියලා. ඒත් මම ඒ ගැන එච්චර හිතුවෙ නැහැ. දැන් බලාපොරොත්තු නොවුණු විදියට චරිතය ජනප්‍රිය වෙලා.
• හිමායා, සොනාලි ටීචර්ගේ චරිතය භාරගත්තේ දෙවැනි ඉනිම ඒ වෙනකොටත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් නිසාද?
මම සාරංග අයියගේ තුන්වැනි ටෙලි නාට්‍යයට තමයි මේ සම්බන්ධ වෙන්නේ. මට මුලින් කතා කරලා තිබ්බේ වෙන චරිතයකට. නාට්‍යයේ කොටස් පනහකුත් ගියාට පස්සේ එයාලා මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා. ඒ වෙනකොටත් සොනාලි ටීචර්ගේ චරිතයට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන කිහිප දෙනෙක් ස්ක්‍රින් ටෙස්ට් කරලා තිබුණා. දෙරණ සභාපතිතුමා සහ අනෙක් පිරිස බලලා මාව තමයි චරිතයට තෝර ගත්තේ. මාව සොනාලි ටීචර්ට ගැළපුණා.
• හිමායාට සොනාලිගේ චරිතය පෑහුණා. ඇත්තටම වෘත්තීයමය ජීවිතය හැරුණු කොට හිමායා සොනාලිගේ චරිතයට සමානද?
සොනාලි ටීචර්ට නම් තරහා ගන්න එක කරන්න බැරි දෙයක්. හැබැයි ඇත්ත ජීවිතේදී මට තරහා යනවා. හැබැයි ඒ තරහා සෝඩා බෝතලේ කැඩුවා වගේ තමයි. ඒ වගේම සොනාලිගේ චරිතය ඉදිරියේදී සංවේදී වෙනවා. ඒ අතින් ගත්තොත් ඒ ගති ලක්ෂණ මට සමානයි. මාත් පොඩි දේටත් ඇඬෙන, දුක හිතෙන සංවේදී චරිතයක්.
• හිමායා රංගනයට ආධුනික නැති වුණාට, වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනා ගන්නේ දෙවැනි ඉනිමෙන් නේද?
මම කලා ක්ෂේත්‍රයට එන්නේ 2009දී. අතරමඟ නතර වෙවී තෝරා බේරා ගැනීම් එක්ක තමයි මම වැඩ කළේ. මම මුලින්ම රඟපෑවේ ගිහාන් රෝහණගේ 'හිම කඳුළු' නාට්‍යයේ. ඒ වගේම මුතු පලසේ මම කරපු ස්වප්නාගේ චරිතයත් ජනප්‍රිය වුණා. සමාජ මාධ්‍යවලින් මාව ගොඩක් ජනතාව අතරට ගිහින් තියෙන්නේ දෙවැනි ඉනිමෙන්.
• ඒ කියන්නේ හිමායාට මේ ලැබිලා තියෙන්නේ හොඳම චාන්ස් එක?
දෙවැනි ඉනිමේ රඟපාන හැමෝටම ඒකේ රඟපාන්න ලැබීම හොඳම චාන්ස් එකක්. මටත් එහෙමයි.
• සමාජ මාධ්‍යවලින් කෙනෙක් ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. ඒ නිසා බයක් නැද්ද?
මගේ තියරිය තමයි නින්දා ප්‍රශංසා කියන දේ ජීවිතයට සම සමව බලපානවා. සමහරු මට ආදරය කරනවා වගේම මට බැනලත් කමෙන්ට් දානවා. මම හරි නම් නින්දා ප්‍රශංසා කියන දේවල් සම සමව විඳින්න පුළුවන් වෙන්න ඕන.
• කොල්ලෝ පිරිවරාගෙන ඉන්න හිමායාට දෙවැනි ඉනිමේ වඩාත් සමීප කාවද?
මම කොල්ලෝ ටිකක් එක්ක තනියෙන් ඉන්නවා කියලා තේරෙන්නෙවත් නෑ. මයික්, චබි දෙන්නා සැබෑ ජීවිතෙත් ඔය චරිතමයි. ඔය චරිත එක්ක මම පිස්සු නටනවා. අනුහස් ටිකක් නිහඬ චරිතයක්. අවන්තගේ චරිතය කරන කෙෂාන් එක්ක නම් මම ගොඩක් පොත් ගැන කතා කරනවා. මට වැඩ කරන්න ලැබිලා තියෙන්නේ ජොලි ටීම් එකක්.
• හිමායාට අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා ලැබෙනවා. හැබැයි මම වැඩ ගොඩක් කරන්න කැමැති නැහැ. මම මගේ සුව පහසුව ගැන හිතනවා.
• ඒ කියන්නේ ජනප්‍රිය වෙන්න සල්ලි හොයන්න එහෙම වුවමනාවක් නැද්ද?
මම කවදාවත් ජනප්‍රියත්වයවත්, සල්ලි වෙනුවෙන්වත් වැඩ කරන්න උත්සාහ කළේ නෑ. මම ජනතාව අතරට ගියේ යහපත් විදියට. ඉදිරියටත් මගේ චරිතයකට හාත්පසින්ම වෙනස් වුණු හොඳ චරිත ලැබුණොත් රංගනයට සම්බන්ධ වෙනවා.
• ඒ කියන්නේ හිමායා රංගනයේ දුර ගමනක් හදාගනියිද?
ඒක හරියට කියන්න බෑ. ඉදිරියට ලැබෙන නිර්මාණ සහ පෞද්ගලික ජීවිතේ ගන්න තීන්දු තීරණ මත ඒක වෙනස් වෙන්න පුළුවන්.
• ඔය නොකියා කියන්නේ විවාහ වුණදාට රංගනයෙන් ඉවත් වෙයි කියලද?
එහෙම නෙවෙයි. විවාහය ගැන නම් තාම මම හිතලාවත් නැහැ.
• විවාහය ගැන නොහිතුවට හිමායාට පිස්සු වැටිච්ච කොල්ලෝ අතරේ විශේෂ කෙනකුත් ඇති නේද?
ඔක්කොම මට ආදරෙයි. විශේෂ කෙනෙක් නැති නිසා එක කොල්ලෙක් ගැන කතා නොකර ඉමු නේ.
• හිමායා සිනමාවටත් පය තිබ්බා නේද?
ඔව්. මම ඉසුරු වීරසිංහ මුදලි කරපු 'සාම' චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒකේ තාම වැඩ ඉවර නැහැ. වැඩ ඉවර කරලා ඒ චිත්‍රපටය තිරයට එනකල් මම බලාගෙන ඉන්නවා.
• හිමායා කියන නිවේදිකාව මඟ නතර කළාද?
නැහැ. නිවේදිකාව අතහැරියොත් මාව මොට වෙනවා. ඒ නිසා ඉදිරියේදී හොඳ වැඩකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා. හැබැයි මම ටෙලි නාට්‍යවලට සහ චිත්‍රපට රංගනයට මුල් තැන දෙනවා.
- තිළිණි කෞශල්‍යා විජේසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad