ජනපතිට හූනියම් කිරීම හා එයට ජනපති දැක්වූ ප්‍රතිචාරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ජනපතිට හූනියම් කිරීම හා එයට ජනපති දැක්වූ ප්‍රතිචාරය

ඊයේ ප්‍රවෘත්ති වාර්තාවකින් කියැවුනේ පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියේ තිබී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී ඇති බවය. 

එම ස්ථානයේම ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයන් තිදෙනාටත්  පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුට සහ තවත් අයකුට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාද තිබුණ බව සඳහන් විය.  කිසියම් අයකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා අඟල් දහයක් පමණ දිග තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නම් ලියා එහි තිරස් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා ඇතැයිද එම වාර්තාවේ දැක්විණි.

මේ සොහොන් පිටියට ආසන්නයේ ඉදිකිරීමක නිරතවූ තරුණයන් දෙදෙනකු අසල වූ සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, රතු මල්, පොල්තෙල් සහ පහන් කිහිපයක් තිබෙන අයුරු දැක එම ස්ථානය පිළිබඳ විපරමින් බලද්දී සොහොන ආසන්නයේ රෝල්කර සඟවා තිබූ මෙම ද්‍රව්‍ය සොයාගත් බව වැඩිදුර විස්තරයේ දැක්විණි.

ජනාධිපතිවරයාගේ මනස අවුල් කර පක්ෂයේ වැඩ කටයුතු අකර්මණ්‍ය කිරීම සඳහා බල තණ්හාවෙන් පෙළෙන අමාත්‍යධුරයක් දැරූ අයකු මේ හදි හූනියම සිදුකර තිබෙන බවට රාවයක් තිබේ යයිද සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම වාර්තාවල සටහන් විය.

ඊයේ (14) පැවැති ස්වාධීන රූපවාහිනී සේවයේ 38 වෙනි සංවත්සර උළෙලට එක්වෙමින් ජනපතිවරයා මේ ගැන කියා සිටියේ මෙසේය.
“අපි බෞද්ධයින් විදියට දන්නවා ලෝකයේ වැඩිපුරම නින්දා අපහාස වින්දේ බුදුරජාණන් වහන්සේ බව. බෞද්ධයෝ විදියට ඒ සියල්ල විඳදරා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අද ජාතික පුවත්පත්වල මුල් පිටු බලලා මට හිනා ගියා. අද පුවපත්පත්වල මුල් පිටුවේ තිබෙන්නේ අනුරාධපුර පැත්තේ සොහොන් පිට්ටනියක තිබිලා හොයා ගත්ත දේවල්වලින් මට හූනියම් කරලා කියලා. 

මගේ රූපය ඇදලා නම් ගහලා. බලි තොවිල් කරපුවායි තියෙන්නේ. අනුරාධපුරයේ හොරොව්පතාන පැත්තෙන් තමයි මෙය හමුවෙලා තියෙන්නේ. හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්ටනියක තිබිලා මෙය හම්බ වුණාම මේ රටේ ඕනෑම කෙනෙක් දන්නවා මේක කරලා තියෙන්නෙත් කවුද කියලා. මේ වගේ දේවල් පිළිබඳව මම සැලෙන්නේ නැහැ. අපි තව තවත් ශක්තිමත්වීමයි සිදුවන්නේ.“

No comments:

Post a Comment

Post Bottom Ad