“කෝටි 25 ට පදක්කම ඉල්ලනවා“ - සුසන්තිකා පුද්ගලික අංශයේ රැකියාවකට යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

“කෝටි 25 ට පදක්කම ඉල්ලනවා“ - සුසන්තිකා පුද්ගලික අංශයේ රැකියාවකට යයි

“කෝටි 25 ට පදක්කම ඉල්ලනවා“ - සුසන්තිකා පුද්ගලික අංශයේ රැකියාවකට යයි
ඔලිම්පික් ක්‍රීඩාකාවකගෙන් රටට ලබා ගත හැකි සේවය හා ඔලිම්පික් පදක්කමක වටිනාකම තමන් විසින් මේවන විට තහවුරු කර ඇති බව  ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි. ඇය මේ බව පැවසූයේ ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෝටි 25කට පමණ මේවන විට ඔලිම්පික් පදක්කමට ඉල්ලුමක් පවත්නා බවත්, එහෙත් එය විකිණීම සඳහා කලබලයක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය. ක්‍රීඩා අමාත්‍යවරයාට වඩා තමන් මේ රටට යම් සේවයක් කළ අයෙකු බවත් පැවසූ ජයසිංහ මහත්මිය ඉදිරියේදී ආරාධනාවක් ලැබුණත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා යටතේ යමක් කිරීමට බලාපොරොත්තු නොවන බවත්, ඔහු සම්බන්ධයෙන් තමන්ට කලකිරීමක් පවත්නා බවත්, අනවබෝධයෙන් කටයුතු කළ නොහැකි බවත් සඳහන් කළාය.

කෙසේ වෙතත් තමාගේ වියදම් සොයා ගැනීම සඳහා ඉදිරියේදී පුද්ගලික අංශයේ රැකියාවක් කිරීමට අදහසක් පවත්නා බව ඇය අවධාරණය කළාය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඔලිම්පික් පදක්කම් විකිණිය නොහැකි පරිදි නීති ගෙන එන බවට පසුගියදා ප්‍රකාශයක් කරනු ලැබීමෙන් හෙළිවූයේ ඔහුගේ නොදැනුවත්කම බවත්, තමාගේ ඔලිම්පික් පදක්කම රටට නොව ආසියාවේම කෙටි දුර දිවීම වෙනුවෙන් ලැබූ එකම ඔලිම්පික් පදක්කම බවත් ලෝකයේ ඕනම රටක පදක්කම අයිති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බවත් ජයසිංහ මහත්මිය කියා සිටියාය.
තමා තම පදක්කම විකිණීමට යන බවට කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මිස ජනාධිපති, අගමැති හෝ පක්ෂ නායකයින් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූයේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් නිසා බවත්, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට මොළයක් නොමැති බවත් ඇය සඳහන් කළාය.
ලෝකයේ ඇතැම් රටවල පදක්කම් ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තමාගේ ආර්ථික ප්‍රශ්න, නඩුහබ ප්‍රශ්න ආදිය නිසා පදක්කම් වෙන්දේසියේ විකුණා ඇති බවත්, තමාට ගැටළුවක් පැන නැඟුණේ තමාට ගෙවනු ලැබූ මාසික දීමනාව අහිමි කරලීම නිසා බවත් ඇය සිහිපත් කළාය.
දීමනාව මෙතෙක් ලබා ගැනීම වෙනුවෙන් ඇයගෙන් විය යුතු සේවය නොලැබුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් ඇයගෙන් විමසූ අවස්ථාවේදී ඇය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කතා කිරීමට තමන් අකමැති බව හා ආණ්ඩු මාරු, විෂය බාර අමාත්‍යවරුන් මාරු සිදුවන නමුත් තමන් කළ සේවය මාරු නොවන බවයි.
තමන් මේ පදක්කම් ලැබුවේ තහනම් උත්තේජක ලබාගෙන හෝ වෙනත් අයුතු ක්‍රමවලින් නොවන බවත්, ඒ නිසාම තමන් උපයා ඇත්තේ පජාත පදක්කම් නොවන බවත් කියා සිටි සුසන්තිකා ජයසිංහ, එස්.බී අමාත්‍යවරයාගේ කාලයේත් යම් ප්‍රශ්න ඇතිවුණු නමුත් මේ ආකාරයේ හෙළාදැකීමක් සිදුනොවුණු බව සිහිපත් කළාය.
තමාගේ ප්‍රකාශයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාත්, රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාත් තමාට දුරකථනයෙන් කතා කොට ගැටළු සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා කළ බවත්, රංජන් රාමනායක මහතා තමාට පුද්ගලිකව මුදල් පරිත්‍යාගයක්ද කළ බවත් ජයසිංහ මහත්මිය පෙන්වා දුන්නාය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද ජනාධිපති ලේකම්වරයෙකු කතා කොට ගැටළුව සාකච්ඡා කළ බවත්, ඒ අනුව ඉදිරියේදී යම් සාධාරණයක් ඉටුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, එකම ගැටළුව වූයේ තමා වෙත ගෙවනු ලැබු අහිංසක දීමනාව අත්හිටුවීම බවත් සුසන්තිකා ජයසිංහ මිය වැඩිදුරටත් පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad