කසළ අධිකාරියක්‌ එපා - බස්‌නාහිර යෝජනාව සම්මතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

කසළ අධිකාරියක්‌ එපා - බස්‌නාහිර යෝජනාව සම්මතයි

කසළ අධිකාරියක්‌ එපා - බස්‌නාහිර යෝජනාව සම්මතයි
කසළ කළමනාකරණය සඳහා වෙනම කසළ කළමනාකරණ අධිකාරියක්‌ පිහිටුවීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි යෑයි ඊයේ (25) බස්‌නාහිර පළාත් සභාවට ගෙන ආ යෝජනාවක්‌ පක්‌ෂ විපක්‌ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ දැක්‌වීමෙන් පසු ඒකමතිකව සම්මත විය.

බස්‌නාහිර පළාත් සභාවට මේ වන විට කසළ කළමනාකරණ අධිකාරියක්‌ පවතින බවත් එයට පටහැනිව නව කසළ කළමනාකරණ අධිකාරියක්‌ මධ්‍යම රජය යටතේ පිහිටුවීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට පටහැනි බවත් ස්‌වාධීන මන්ත්‍රී සුසිල් කිදෙල්පිටිය මහතා විසින් ප්‍රකාශ කරමින් යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබීය.


මෙහිදී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අදහස්‌ දක්‌වමින් කියා සිටියේ මේ කසළ ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්‌ව පළාත් නවයේම මහ ඇමැතිවරුන් ගෙන්වා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම් පැවරිය යුතු බවයි.
මෙම ප්‍රශ්නය විසඳීම එකිනෙකාට අවශ්‍ය ආකාරයට කළ නොහැකි බවත් මේ සඳහා මහඇමැතිවරුන් සමඟ ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කළ යුතු බවත් ඔහු පැවසී ය.

මෙහිදී ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් වටගල මහතා කියා සිටියේ මීතොටමුල්ලේ කසළ කන්ද නාය යැම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මීතොටමුල්ල කුණු කන්ද ලබා ගැනීමට මධ්‍යම රජයේ ඇමැතිවරයකු සෑම විටම උත්සහ දරනවා හැරෙන්න එයට විසඳුමක්‌ ලබාදෙන නිසි වැඩපිළිවෙලක්‌ ඉදිරිපත් නොකළ බවයි.


බ්ලුමැන්ඩල් කසළ කන්ද වසර දෙකකින් ඉවත් කර එම ස්‌ථානය අලංකාර කරන බවට එදා පොරොන්දු දුන්නත් එයද තවම සිදුකර නොමැති බවද හෙතෙම පැවසීය.
මේ ආකාරයෙන් මන්ත්‍රීවරුන් රැසක්‌ මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වීමෙන් පසු බෙදීමකින් තොරව යෝජනාව සභා සම්මත විය.

No comments:

Post a Comment

Post Bottom Ad